අප්පච්චි නම් බනින්නේ නැහැ…


0

මේ දිනවල පුංචි තිරයේ  කා අතරත් ජනප්‍රිය පුංචි රංගන තරුවක් අද අපේ කතාබහ තුළින් මුණ ගැහෙන්න සිතුවා. ‘පොඩි බන්ධනා’ චරිතයෙන් ඇය හමුවන්නේ මේ දිනවල විකාශය වන ‘බන්ධනා’ ටෙලි නිර්මාණය ඔස්සේයි. පුංචි තිරයේ හැඩ වැඩ දාන මේ පොඩි රුවැත්තිය සේහා මිනෙර්වි. පුංචි සේහාගේ හුරතල් බස් ගොන්නක් සමඟ සඳැල්ල කතාබහට එකතු වූයේ මෙලෙසිනි.

ඉතින් කොහොමද?

හොඳින් ඉන්නවා. මේ දවස්වල මට ෂූටිංනේ. පෙර පාසලුත් යනවා. පසුගිය දවස්වල ෂූටිං නිසා පෙරපාසල් වැඩ  ටිකක් අතපසු වුණා. දැන් පෙරපාසල් යන දවසට මම පැයක් වැඩිපුර ඉඳලා ඒ වැඩ ඉගෙන ගන්නවා.

ඉතින් කියමුකෝ බලන්න සේහා දුවගේ විස්තර ටිකක්?

මගේ නම සේහා මිනෙර්වි. පවුලේ ඉන්නේ අප්පච්චියි, අම්මයි, මායි, අත්තම්මත් ඉන්නවා.  අප්පච්චි ඡායාරූප ශිල්පියෙක්. අප්පච්චි සුමුදු දාසමන්. අම්මා ගෘහණියක්. අම්මා නිලුකා දමයන්ති. මට දැන් අවුරුදු 5යි. අපි පදිංචි වෙලා ඉන්නේ ගාල්ල බෙලිගහ හන්දියේ. මම පෙරපාසල් යන්නේ කරාපිටිය Richmond House of Children පෙරපාසලට.

පුංචි කාලේ ඉඳලා දුව රඟපාන්න ආසයිද?

රඟපාන්න එනකල් මට රඟපාන්න පුළුවන් කියලා දැනන් හිටියේ නෑ. මගේ අප්පච්චි ඡායාරූප ශිල්පියෙක් නිසා කැමරාව ඉස්සරහ එක එක විදිහට ඉන්න මම බය නැහැ. නටන්න සින්දු කියන්නත් මම හරිම ආසයි.

සේහා දුවට කොහොමද මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙ?

බුද්ධිනි නැන්දා මුහුණුපොතේ දැන්වීමක් දාලා තිබුණලු. අවුරුදු පහ  හතර වයස්වල රංගනයට කැමති බබාල ඉන්නවානම් ෆොටෝ එවන්න කියලා. මගේ ලොකු අම්මිගේ (දුව) අක්කා තමයි මගේ ෆොටෝ දාලා තිබුණේ. ඒ විදිහට තමයි ‘බන්ධනා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

මේ දුවගේ පළමු රංගනයද?

ඔව්. අම්මා කියන විදිහට අවුරුදු තුනේදී විතර ෆේස්බුක් එකේ ගිය දැන්වීමකට දායක වෙලා තියෙනවා. ඒත් කැමරාවක් ඉස්සරහ ටෙලිනාට්‍යයකට දායක වෙන පළමු ටෙලි නාට්‍යය තමයි ‘බන්ධනා’.

පුංචි බන්ධනාට කැමරාව ඉස්සරහට  ගිය පළමු දවස මතකද?

අම්මෝ ඔව්… මට මුලින්ම රඟපාන්න තිබුණේ විශ්ව මාමා ඒ කියන්නේ ටෙලිනාට්‍යයේ මාගේ තාත්ති එක්ක. මුල් දවස්වල නම් මගේ අම්මි මට දෙබස් කියන හැටි කියලා දුන්නා. මුලින්ම කැමරාව ඉස්සරහට ගිය දවසේ චුට්ටක්වත් බය හිතුනේ නැහැ. මට එදා දැනුනේ විශ්ව මාමාත් මගේ තාත්ති වගේමයි. සේහා පුංචි බන්ධනා වුණේ ඔන්න ඔය විදිහට. ඒ වගේම අධ්‍යක්ෂ තිසුල දීප තඹවිට මාමා ඇතුළු හැමෝම පුංචි බන්ධනා රඟපාන්න මට ගොඩක් උදව් කරවා. ඒ වගේම බුද්ධිනි නැන්දා තමයි මාව පුංචි බන්ධනාගේ චරිතයට තෝරාගත්තේ. දැන් පුංචි බන්ධනා ගොඩක් ජනප්‍රියයි.  පුංචි බන්ධනාට පොඩි බබාලගේ ෆොටෝ ගොඩක් බුද්ධිනි නැන්දාට  ආවාලු. ඒ ඔක්කෝම අතරින් බුද්ධිනි නැන්දා තෝරගෙන තියෙන්නේ මාව. සතුටුයි ඉතින්.

සේහාට කොහොමද  පුංචි බන්ධනාව දැනුනේ?

පුංචි බන්ධනාගේ තාත්තියි ආත්තම්මයි විතරයි  ඉන්නේ. අම්මි ගැන කියන දෙබස් කියනකොට මට දුක හිතෙන අවස්ථා තියෙනවා.

දෙබස් මතක තියාගන්න අමාරු නැද්ද?

අනේ නැහැ. කොච්චර දිග වාක්‍යයක්  වුණත් මට මතක හිටිනවා. සමහර වචන නම් කියවෙන්නේ නැහැ ඉතින්. ඒත් බුද්ධිනි නැන්දා, විශ්ව මාමා චතු නැද්දි හැමෝම මට කියලා දෙනවා. අපි මෙහෙම කියමු කියලා හරිම ආදරෙන් මට කියලා දෙනවා.

වැඩිපුරම සේහා ආදරේ විශ්ව මාමාටද චතු නැන්දටද?

කතාවේ ඒ දෙන්නා මගේ අම්මයි තාත්තියිනේ… මම ඒ දෙන්නටම ආදරෙයි. මට ඒ දෙන්නට නිකං වෙලාවට කතා කරන්නෙත් අම්මායි තාත්තයි කියලා.

පොඩි බන්ධනා වාගේ සේහාත් කටකාර කෙල්ලෙක්ද?

කටකාරකමයි. දඟකාරකමයි දෙකම තියෙනවා. ගෙදරදි කෑ ගහලා අම්මිගෙන් බැනුම් අහලත් තියෙනවා. අප්පච්චි නම් බනින්නේ නැහැ. ඇස් දෙක ලොකු කරලා බැලුවම මම බය වෙනවා.

කොහොමද පුංචි බන්ධනාට ලැබෙන ප්‍රතිචාර?

අම්මෝ ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට කතා කරන්නෙත් පුංචි බන්ධනා කියලා. මගේ රංගන කටයුතුවලට පෙර පාසලෙනුත් ලොකු සහයෝගයක් දෙනවා. මගේ පෙර පාසලේ යාළුවෝ, ගුරුවරු, නෑදෑයෝ ගොඩක් අය මගේ රංගනයට හොඳ ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් ෂූටිං නිසා මට අතපසුවන පාඩම් වැඩ ඔක්කෝම පෙර පාසලේ ටීචර්ලා මට කියලා දෙනවා. මගේ රඟපෑම් දැකලා කුසුම් නැන්දා මේ දක්ෂතාව පෙර ආත්මෙක ඉඳලා ගෙනාපු දෙයක් කියලා කියනවා.

සේහා දැන් දිගටම රඟපාන්න ආසයිද?

තාම එහෙම හිතලා නැහැ. ඉස්සරහට රඟපානවද නැද්ද කියලා තීරණය කරන්නේ අම්මා තමයි. තාම මොනවටවත් ආරාධනා ලැබුණේ නැහැ. අම්මා නිතරම කියන්නේ ෂූටිං  අංක දෙක. ඉගෙනීම අංක එක කියලා.

දුවගේ මොනවද ඉදිරි බලාපොරොත්තු?

අම්මි කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා.

දුවගේ කලා ගමනට උදව් කරපු අය මතක් කරමු?

අම්මිගේ පවුලේ හැමෝම සහ අප්පච්චිගේ පවුලේ අය ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් බුද්ධිනි නැන්දි. මට මේ තැන හදලා දුන්නේ එයා. අධ්‍යක්ෂ මාමා සඳගෝමි මාමා, කුසුම් නැන්දා, විශ්ව තාත්ති  සහ චතු අම්මි, ඉෂාන් මාමා ඇතුළු කණ්ඩායමේ සියලුම දෙනා ආදරෙන් මතක් කරනවා.

සේහා දියණියගේ මව නිලුකා දමයන්ති මහත්මිය දියණිය පිළිබඳ  පැවසුවේ මෙවන් අදහසකි.

සේහා පුංචි කාලේ ඉඳලා අනෙක් දරුවෝ අතර ඉන්නකොට මම පොඩි පොඩි විශේෂතා කීපයක් දැක්කා. තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසා එයා එක එක ෆොටෝස් ගන්නකොට වෙන බබාලා වගේ නෙමෙයි  එක එක විදිහට ඇක්ෂන් දානවා. ලැජ්ජ බය නැහැ. සබකෝලය නැහැ. ඕන දේකට ඉදිරිපත් වෙනවා. හරිම සමාජශීලී. මගේ අක්කාගේ දුව තමයි  බුද්ධිනි මහත්මියට සේහාගේ ෆොටෝ එකක් යවලා මේ අවස්ථාව ලැබෙන්නේ.

එයා ‘බන්ධනා’ ටෙලි නාට්‍යය රෑගත කිරීම් පටන් ගන්න මුල්ම දවසේ කැමරාවට මුහුණ දීපු විදිහට එතන ඉඳපු අයටත් ගොඩක් පුදුම හිතුනා. කිසිම ආධුනික බවක් ඒ වෙලාවේ දැනුනේ නැහැ. හැමෝම ඇහුවේ කලින් දුව රඟපාලා තියෙනවාද කියලා. දුවට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි. සේහා කියන්නේ මට ජීවිතේ ලැබුණු වටිනාම වස්තුව. සේහා ලොකු වෙලා එයා යන්න කැමති කොයි පැත්තෙන්ද දෙමාපියෝ විදිහට එයාට ඒකට උපරිම සහයෝගය දෙනවා. අවුරුදු 5ට එයා කරන රංගනය දැකලා ගොඩක් අය පුදුම වෙනවා.

නදීශා අතුකෝරළ / ඡායාරූප – සුමුදු දෑසමන්


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.