ඇත්තම ආදරය, අවංක ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕනෑ….


0

සනසන්න ඔබ ආදරෙන්……..

‘‘සනසන්න ඔය ආදරෙන්

මතුදාක මගේ ජීවිතේ

හිනැහෙන්න මගෙ ලෝකෙ

ඔබ එක්ක හැමදාම

මං පතමි ඔය ආදරේ….

සඳරෑක සීතලට උණුහුමට ගුලි වෙන්න

ඉඩ දෙන්න ඔය පපුතුරේ

මුමුණන්න හිත පිරුණු ආදරය ලං ලංව

මට දෙන්න නුඹෙ ජීවිතේ…’’

මේ විදියට කවි ලියන සුන්දර, ආදරණීය හිතක් තියෙන මේ කවිකාරිය අපට හමුවන්නෙ, පාරදිගේ නාට්‍යයේ උදාරිගේ චරිතය සමඟයිකවි ලියන, ගී ලියන, රඟපාන ඇය නමින්, චාමි ප්‍රියදර්ශනීයමේ ලස්සන පිළිසඳර ඇය සමඟයි.

නම කියමු?

සම්පූර්ණ නම තුඩුගලගේ දෝන චාමි ප්‍රියදර්නී. හැමෝම දන්නෙ චාමි කියලයි.

චාමි මොන වගේ කෙනෙක්ද?

සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්, ලස්සනට අඳින්න කැමති සරල කෙනෙක්. විහිළුවක් කරගෙන නිතරම හිනාවෙලා සතුටින් ඉන්න කැමති කෙනෙක්.

මොන විදියටද චාමිව හඳුන්වන්න ඕනෑ?

නවක රංගන ශිල්පිනියක්.

රංගනයට ආවේ?

සරසවි අධ්‍යාපනය ලැබූ කාලයේ ඉඳලාම වේදිකා නාට්‍යවල රඟපෑවා. කැම්පස් එකේ නාට්‍ය නිර්මාණ වලටත් සහභාගි වුණා. ඒවායේ රඟපාද්දි හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා යම් හැකියාවක් තියෙන බව තේරුණා. පසුව තිර පරීක්‍ෂණ කීපයකටම ගියා. ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි, සද්ධාමංගල සූරියබණ්ඩාර සර් සහ චාමර සමරවික්‍රම නිෂ්පාදකතුමා මට අවස්ථාවක් ලබා දුන්නෙ. චන්දිර ලියනගේ තමයි, මුලින්ම මා ස්ක්‍රීන් ටෙස්ට් එකට යොමු කළේ. ඒ විදියට තමයි පාරදිගේ නාට්‍යයේ රඟපාන්න ලැබුණෙ.

පාරදිගේ, චරිතය කියමු?

මගේ චරිතයේ නම උදාරි. සමාගමක ලේකම්වරියක්. එහි ප්‍රධානියාට ඉන්නෙ උද්දික ප්‍රේමරත්න මහතා. ඒ නාට්‍යයේ මම එයාගෙ ලේකම්වරිය.

කොහොමද උදාරිට ලැබෙන ප්‍රතිචාර?

සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඔස්සේ ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.

චාමි’ගෙ ගම කොහෙද?

පාදුක්ක

පාදුක්ක’ කොහොමද?

කොළඹ දිස්ත්‍රික්කයේ වුනාට සුන්දර පළාතක්.

ගෙදර විස්තර කියමු?

අම්මයි-තාත්තයි අයියලා දෙන්නයි. සාමාන්‍ය පවුලක්.

චාමි ඉගෙන ගත්තෙ?

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගමේ ඉස්කෝලෙ මලගල මහා විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වී පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තෙ ඒ පාසලෙන්. උසස් පෙළට දෙපාරක්ම ජීව විද්‍යා අංශයෙන් මුහුණ දුන්නා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට මම කලා අංශයෙන් විභාගය අරන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත් වුණා. ව්‍යාපාර සංඛ්‍යානය විශේෂවේදී උපාධිය කළේ.

දැන්?

අද පාදුක්ක සිරි පියරතන කණිෂ්‍ඨ විද්‍යාලයේ සේවය කරනවා.

ගෙදර වැඩත් ‘චාමිට’ හොඳට පුළුවන්ද?

ගෙදර වැඩ පුළුවන්. ඒත් කෙරෙන්නෙ අඩුවෙන්. සෝයාමීට් වලට ආස නිසා රසට උයනවා. එක එක අලුත් කෑම හදන්න ඉගෙන ගන්න ආසයි. ගෙදර අයට මම එහෙම හදලා දීලා තියෙනවා. දවසක් මම ලූනු මුරුක්කු හැදුවා. ඒක හරිම රසයි කිව්වා.

පාරදිගේ විතරද රඟපාන්නෙ?

පාරදිගේ නාට්‍යයට අමතරව මියුසික් වීඩියෝ කීපයකටම පෙනී සිටියා. ඊට අමතරව ‘රාජිණි’ සහ ‘විසේකාර හාදුවක්’ නාට්‍යවල රඟපානවා.

රඟපෑමයිරැකියාවයි දෙකම කරන්න පුළුවන්ද?

කාලය හදාගෙන කරන්න වෙනවා.

කලාව, නැත්නම් ජනප්‍රිය ක්ෂේත්‍රයකට ආපසු දැනෙන හැඟීම මොන වගේද?

මිනිසුන්ගෙ ප්‍රතිචාර ලැබෙද්දි හරි සතුටුයි. ඒ ප්‍රතිචාර නිසා, ක්ෂේත්‍රයේ රැඳෙන්න හිතෙනවා. දිගටම රැඳෙන්න නම් දක්‍ෂතාවය තියෙන්නම ඕනෑ. දක්‍ෂතාවය මුවහත් වෙන්නෙ රඟපාන චරිත සහ ඒවායින් ලබන පළපුරුද්ද එක්කයි.

චාමි’ ලස්සනයි කියලා හිතුණ නිසාද රඟපෑමට ආවෙ? නැත්නම් දක්‍ෂයි කියලා හිතුව නිසාද?

ලස්සනයි කියලා නම් මම හිතන්නෙ නැහැ, මම ආසයි කලාවට. ඒ දේ කරන්න ආසයි. රඟපෑමට ආසාව සහ දක්‍ෂයි කියලා හිතුවා, ඒ නිසා තමයි ක්ෂේත්‍රයට ආවේ.

හිතුවොත් දෙයක් කරනවා කිව්වනෙ? කාට හරි ගහන්න හිතුණොත්?

අනේ නැහැ. මම කිව්වෙ මගේ හැකියාවන් වලින් දෙයක් කරන්න හිතුවොත් කරන්න ආසයි.

වැඩියෙන්ම ආසා මොනවටද?

කවි, සිංදු ලියන්න පුළුවන්, නර්තනය සාමාන්‍ය මට්ටමින් පුළුවන්. ඉගෙන ගැනීමේදී ‘ගණිත’ විෂයට ලැදියි, සිංහල සාහිත්‍යයටත් ලැදියි.

ඒ කියන්නෙ ගණන්කාර, සෞන්දර්යවාදී චරිතයක්?

ගණිත විෂයයට ආසා, සෞන්දර්ය විෂයට ලැදි චරිතයක්.

ගමේ අය කියන්නෙ, ‘චාමි’ හරි ආඩම්බරයි කියලයි?

අනේ එහෙම නැහැ, ගමේ මම ඇවිදින්න යන්නෙ නැහැ. ඒත් මට කවුරුවත් එහෙම කියලා නැහැ.

ජීවිතේ ගැන ‘චාමි’ කොහොමද හිතන්නෙ?

මගේ ජීවිතේ, තවම මට සාර්ථක කර ගන්න බැරි වුණේ, ප්‍රේමයයි. ඒත් ඒකත් ළඟදීම සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

ඒ කියන්නෙ ප්‍රේමවන්තියක්?

තවම නැහැ, පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ගෙදරින් හොඳ කෙනෙක් හොයමින් ඉන්නෙ.

චාමි ආදරය ගැන හිතන්නෙ මොන විදියටද?

ඇත්තම ආදරය, අවංක ආදරය ලබන්න වාසනාවක් තියෙන්න ඕනෑ. කෙනෙක් ගැන ආදරයක් හිතුණොත් ගෙදර අයට පසුව මූලිකත්වය දෙන්නේ ඒ ආදරයටයි. ආදරේට මම හරිම හරි ආදරෙයි. ආදරේ කරන කොට බොරුවක් වංචාවක් කරන කෙනෙක් නෙවෙයි මම කැමති, සමාජශීලී, ආදරණීය, සරලව සැහැල්ලුවෙන් සිතන-පතන කෙනෙකුට තමයි මම කැමති. ආදරේදී මම මා ගැනවත් නොහිතන තරමට ආදරය කරන කෙනෙක් මම.

ගෙදරින් මොනවගේ යෝජනා ද කරන්නෙ?

මුලින්ම නම්, කලාවට එනවට ගෙදරින් කැමති වුණේ නැහැ. ඒ නිසා මේ ගමන ආවේ තනියම. මගේ උනන්දුවෙන් සහ ආසාවෙන්.

චාමිගෙ’ රංගනයේ ඉදිරිය ගැන මොන විදියටද හිතන්නෙ?

රංගනය ගැන ලොකුවට හැදෑරීමක් කරන්න ආසයි. ඒ විදිහට ඉගෙන ගෙන කවදාහරි දවසක නිෂ්පාදිකාවක ලෙස කටයුතු කරන්නත් ආසයි.

චාමි, අනෙක් අයට විවෘත චරිතයක්ද? ගුප්ත චරිතයක්ද?

ඕනෑවටත් වඩා විවෘත කෙනෙක්. මම ඒ විදියට නිර්ව්‍යාජ වූ නිසා, හැමදේම කියන්න ගිහින් මම අපහසුතාවයට පත්වෙලත් තියෙනවා.

සඳුන් ගමගේ



Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.