කවදාවත් අපි රට සදහටම දාලා විදෙස්ගත වෙන්නෙ නැහැ….


0

තාරුකා.. අපිට චූටි පුතාගේ විස්තර ටිකක් කියන්න?

අපේ චූටි පුතාගේ නම නේජ ඩියෝන් අඹගහවත්ත. පුතාට ජූලි 21 වැනිදාට අවුරුදු දෙකක් වෙනවා. එයා දැන් හොඳටම දඟයි. හරිම හුරතල්. අද එයත් එක්ක මේ ගත කරන කාලය හරිම සුන්දරයි. අපි හිතපු නැති විදිහට පුතා නිසා ජීවිතේ වෙනස් වුණා කියලා මට හිතෙනවා. මේ වගේ දඟ දරුවෙක් වෙයි කියලා එයාගේ මුල් කාලෙදි අපි හිතුවෙවත් නැහැ. දඟ කළාට එයා හරිම ආදරේ හිතෙන හුරතල් වැඩ තමයි කරන්නෙ. චූටි කාලෙත් එක්ක බලද්දි එයා හරිම වෙනස්. හැමෝම එක්ක හරිම ආදරණීයයි. අපි දැන් පදිංචිවෙලා ඉන්න ගෙදරට වැඩිය කවුරුත් එන්නෙ නැති නිසා කවුරු දැක්කත් එයා හරිම ආසයි. අතේ එල්ලිලා හුරතල් වෙනවා. ඒ නිසා එයා හැමෝගෙම ආදරේ ලබන කෙනෙක් වෙලා.

දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් හිටපු කාලෙදි තාරුකා වැඩියෙන්ම කැමති වුණේ පුතෙක්ටද? දුවෙක්ටද?

ඇත්තම කිව්වොත් මම ආසාවෙන් හිටියෙ දුවෙකුටයි. හැබැයි මගේ සැමියාගෙ නම් එහෙම වෙනසක් තිබුණෙ නැහැ. එයා දෙන්නටම කැමති වුණා. හැබැයි දැන් නම් මට පුතෙක් ලැබුණු එක හොඳයි කියලා හිතෙනවා.

මුලින්ම පුතා කිව්වෙ (අම්මා( කියලද? (තාත්තා) කියලද?

පුතා චූටි කාලෙ අඬද්දි (අම්මා) කියන සද්දෙ ටිකක් ඇහුණා. හැබැයි වචනයක් විදිහට පුංචිම කාලෙදි (තත්.. තත්) කියලයි කිව්වෙ. ඒ කිව්වෙ (තාත්තා) කියන වචනයයි. ඒ නිසා පුතා (අම්මා) කිව්වෙ ගොඩක් පහුවෙලයි.

පුතා වැඩි කාලයක් ගත කරන්නෙ තාරුකා එක්කයි. ජනක රැකියාවට ගිහින් ආවට පස්සෙ පුතාගේ ප්‍රතිචාරය කොහොමද?

ජනක උදේ නවයට විතර වැඩට යනවා. ආයෙත් එයා ගෙදර එන්නෙ හවස් වෙලයි. ඒ කාලය පුරාවට පුතා ඉන්නෙ මාත් එක්කයි. ඒ කාලය පුරාම මාත් එක්ක කියව කියවා, සෙල්ලම් කරමින්, මොනවා හරි දේකට රණ්ඩු කරමින් හිටපු පුතාට තාත්තා අවට පස්සෙ හරිම ආසාවක් දැනෙනවා. ජනක ගෙදර එන වෙලාව එයාට පුරුදුයි. ගෙදර සීනුව ගහපු ගමන් එයා (තාත්තා) කියලා දුවගෙන යනවා. නිදාගෙන හිටියත් සීනුව ඇහුණොත් එයා (තාත්තා) කියලා ඉස්සරහට දුවගෙන යනවා.

ඔය කාලය අතරතුර පුතා තාත්තා ගැන අහන වෙලාවල් තියෙනවද?

අනේ ඔව්.. ජනක ඇමතුමක් ගත්තාමත් එයා එක්ක කතා කරනවා. ජනක පාවිච්චි කරන හැමදෙයක්ම වගේ පුතා හඳුනනවා. තාත්තගෙ තේ කොප්පය, ඇඳුම්, තුවාය, සපත්තු, ඉණපටිය පවා පුතා හඳුනනවා. ඒවා දැක්කොත් (තාත්තා) කියලා මට ඒක තාත්තගෙ කියනවා. දවසක් මම ජනකගේ තේ කෝප්පයෙන් තේ එකක් බොමින් හිටියා. පුතා ඒ වෙලාවෙ සෙල්ලම් කර කර හිටියෙ. ඈත ඉඳන් මම තේ බොනවා දැකලා මා ගාවට දුවගෙන ආපු පුතා කෝප්පය අතගාලා (තාත්තා) කියලා කිව්වා.

හිතෙන විදිහට පුතා වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද?

එයා වාහනවලට හරි ආසයි. ඒ අතරින් බස්වලට ගොඩක් ආසයි. බස්වලට එයාගේ පුදුම ආසාවක් තියෙන්නෙ. අපි මහල් නිවාසයක උඩ තට්ටුවක තමයි පදිංචිවෙලා ඉන්නෙ. ඉතින් අපේ ජනෙල්වලින් පාර කෙළවර දිගටම පෙනෙනවා. සමහර වෙලාවට කාමරේ ජනේලය ළඟට ගිහින් පාරේ වාහන දිහා පුතා බලාගෙන ඉන්නවා. ඒ අතරිනුත් පුතා බස් තමයි වැඩිපුර හොයන්නෙ. ”බස් නැහැනෙ” කියලත් කියනවා. ඔය අතරේ බස් එකක් ගිය ගමන් පුතා ආසාවෙන් කෑගහනවා. ඒ නිසා එයාට සෙල්ලම් කරන්නත් සෙල්ලම් බස් තමයි දැන් වැඩිපුරම තියෙන්නෙ. ඒ වගේම පුතා සතුන්ට හරි ආසයි. බල්ලන්ට පූසන්ට පුදුම ආසාවක් තියෙන්නෙ. අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා. ඉතින් මෙයා ආච්චිලාගෙ ගෙදර ගියාම ඒ බල්ලව අල්ලන්නමයි යන්නෙ. හැබැයි ඒ බල්ලා මෙයාට බයයි. දවසක් අපි අපේ මාකොළ ගෙදර ගියාම මගේ අම්මා පුතාට කෑම කව කවා හිටියා. ඒ වෙලාවෙදි පූසෙක් දැකපු පුතා පාරේ ගොඩක් දුර පූසා පස්සෙන් ගිහිල්ලා. කෑම කවාගන්න ලේසි නිසා අම්මත් පුතාගේ පස්සෙන් කෑම කව කවා ගිහින්. ටික වෙලාවකින් මම හොයද්දි දෙන්නම නැහැ. මට බයත් හිතුණා. මම පාර දිගේ යද්දි පුතායි අම්මයි පූසාව හොයනවා.

තාරුකාව රූපවාහිනියෙන් දකිද්දි පුතාගේ ප්‍රතිචාරය කොහොමද?

මාව රූපවාහිනියෙන් දකිද්දි එයාට තේරෙන වයසෙ නෙවෙයි හිටියෙ. එතකොට වයස අවුරුද්දකට කිට්ටුයි. ඒ නිසා එයාට ඒක ගාණක් නැහැ. වෙනසක් දැනුණෙත් නැහැ. පුතා රෑපවාහිනියෙන් කාටුන් එකක් හරි, සත්තු පෙන්වන වැඩසටහනක් හරි තමයි වුවමනාවෙන් බලන්නෙ. එයා රූපවාහිනියෙන් Discovery වැඩසටහන් නම් හරිම ආසාවෙන් බලනවා. ඒ හැර අනිත් වැඩසටහන් නම් වුවමනාවෙන් බලන්නෙ නැති තරම්.

පුතා නිසා තාරුකා ලැබුණු නිර්මාණ අතහැරපු අවස්ථාත් ඇති?

ඔව්.. පුතා ලැබෙන්න ඉඳිද්දි වගේම පුතා ලැබුණට පස්සෙත් මට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබුණා. හැබැයි ඒවා බාරගත්තෙ නැහැ. මම ජීවිතේ මූලික තැන දුන්නෙ පුතාටයි. ඒ නිසා බාරනොගත් නිර්මාණ ගැන මම දුක් වෙන්නෙ නැහැ. දැන් පුතාට තේරෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සමහරවිට බාරගනීවි. පසුගිය කාලෙදි අතහැරුණු නිර්මාණ ගැන කොහොමටවත් මම හිතන්නෙ නැහැ.

අද රටේ පවතින තත්ත්වයත් එක්ක පුතාගේ අනාගතය ගැන ඔබගෙයි ජනකගෙයි බලාපොරොත්තුව මොකක්ද?

පුතා ලැබෙන්න ඉඳිද්දි ජනකගේ තීරණය වුණේ පුතාට විදේශ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනෙ කියලයි. ඒ වෙද්දි රටේ මෙහෙම තත්ත්වයක් ඇතිවෙයි කියලා අපි හිතුවෙ නැහැ. දැන් ඒ හිතපු විදිහට පුතාට විදෙස් රටක අධ්‍යාපනය ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. කවදාවත් අපි රට සදහටම දාලා විදෙස්ගත වෙන්නෙ නැහැ. ජනක ව්‍යාපාරිකයෙක්. අද පවතින තත්ත්වයත් එක්ක ව්‍යාපාරික කටයුතු නිසි විදිහට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. කොහොම හරි අපි ජීවත් වෙන්නත් ඕනෙ. දරුවා වෙනුවෙන් අපිට දැන් ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අකමැත්තෙන් හරි ඒ තීරණය දරුවා නිසා ගන්න වේවි.

දිශානි


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.