කෙනෙක් එයාගේ හිත රිද්දුවොත් එයාට දරාගන්න ටිකක් අමාරුයි – කුසල්ගේ මව


0

මේ දිනවල කාගේත් වැඩි අවධානය ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙමින් තිබෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැනය. තීරණාත්මක තරඟ කීපයකදීම වටිනා ඉනිම් කීපයක්ම දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් මෙහිදී විශේෂය. කලක් ලකුණු අතර නොසිටියත් මේ වනවිට කණ්ඩායමේ ලකුණු මැෂිමක් බවට පත්ව සිටින්නේ ඔහුයි.  ඔහු ගැන කාටත් වඩා සතුටු වෙන්නේ මහේෂිකා ශිවන්ති කුමාරි කුසල්ගේ ආදරණීය මවය. ඇය මෙසේ කියන්නීය.

මේ දවස්වල අම්මා ලොකු සතුටකින් ඉන්න බව පේනවා. මං හරිද?

අම්මලා කොහොමත් දරුවෝ ඉස්සරහට යනවා දකින්න කැමතියිනේ. මමත් එහෙමයි. ඇත්තටම කිවොත් මේ දවස්වල නම් කුසල් ගැන කියාගන්න බැරි තරම් සතුටුයි. එයා ලොකු කැපකිරීමක් කළා ආයෙත් සුපුරුදු දක්ෂතා අතරට එන්න. ඉතින් මේ දවස්වල එයාගේ දක්ෂතා දිහා බලාගෙන මං හරිම සතුටින් ඉන්නවා.

මුලින්ම අපට කියන්න පාසල් කාලේ එහෙම පුතා මොන වගේ දරුවෙක්ද?

අපේ ගෙවල් මොරටුවේ. ඒනිසා කුසල් ඉකෝල්ලේ ගියේ මොරටුව වේල්ස් කුමාර විදුහලට. එයා ඒ කාලේ ඉඳන්ම පාඩුවේ හිටපු දරුවෙක්. හොඳට ඉගෙනගත්තා. හැබැයි හැමදේම වඩා ක්‍රිකට් ගැන එයාට ලොකු උනන්දුවක් තිබුණා.

ඒ කියන්නේ පාසල් යන කාලේ කුසල් දග වැඩ කරලම නැද්ද?

කොල්ලෙක්නේ.. ඉතින් ඉස්කෝලෙදි පොඩි පොඩි දඟවැඩ කරන්න ඇති. ඒත් මට ඉස්කෝලේ යන්න වෙන තරමේ දග වැඩක් නම් එයා කවදාවත්ම කරලා නෑ.

හැබැයි වචනයක් දෙකක් කතා කරන කාලේ ඉඳන්ම කුසල් ක්‍රිකට් ගැන ලොකු උනන්දුවක් තිබුණලු නේද?

(සිනාසෙමින්) අනේ ඒක නම් ඇත්ත. මට මතකයි අවුරුද්දයි මාස තුනක් වගේ වයස වෙනකොට අපි එයත් එක්ක සිරිපාදේ වඳින්න  ගියා. ඒ යනකොට අර පහළ කඩවීදියේ සෙල්ලම් බඩු කඩ එහෙම තියෙනවනේ. ඉතින් අච්චර සෙල්ලම් බඩු ගොඩේ ප්ලාස්ටික් බැට් එකකුයි බෝලෙකුයි තියනවා දැකලා මෙයා ඒකම ඉල්ලලා ඇඬුවා.

ඉතින් ඊටපස්සේ ඒ බැට් එකයි බෝලෙයි අරන් දුන්නද?

පොඩි එකාගේ ආසාවනේ. ඉල්ලපු පමාවෙන්ම අරන් දුන්නා. අරන් දුන්නට පස්සේ තමයි හොඳම වැඩේ තිබුණේ. ඒ කියන්නේ සීරිපාදේ පඩියෙන් පඩිය නගිද්දි අපිට එයාට ගහන්න බෝලේ දාන්න ඕන. කොහොම හරි අවුරුදු දෙක තුනක් වගේ ඇති. ඔය කාලේ අපේ ගෙවල් ඉස්සරහා පාරේ ලොකු ළමයි ක්‍රිකට් ගහනවා. පුතා ඉතින් එතැනට යන්නම තමයි දගලන්නේ. ඒ නිසා අපි කරන්නේ ගේට්ටුව වහලා තියන එක. ඒත් දවසක් දෙකක් යද්දි එයා ගේට්ටුව වහලා තියෙද්දිත් ගිහින් පාරේ. බලද්දි මෙයා ගේට්ටුව යටින් බඩගාලා රිංගලා තමයි ගිහින් තියෙන්නේ. දඟ වැඩකට කියලා එයා කරපු එකම දඟ වැඩේ ඒක තමයි.

ඒ විදියට පුංචි කාලේ ඉඳන්ම ක්‍රිකට්වලට උනන්දුවක් තීබුණු කුසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ කොහොමද?

කුසන්ගේ තාත්තා දිනේෂ් මෙන්ඩිස්. එයා ඒ කාලේ ඉඳන්ම ක්‍රිකට්වලට පුදුම කැමතියි. එයාට  තමයි ඕන වුණේ පුතාව ක්‍රිකට්වලින් ඉස්සරහට යවන්න.

තාත්තගෙයි පුතාගෙයි ඒඋනන්දුව එක්ක කුසල් ජාතික කණ්ඩායම නියෝජනය කරයි කියලා එදා අම්මට නිකමට හරි හිතුණද?

එහෙම නම් ලොකුවට හිතුණේ නෑ. ඒත් පාසල් මට්ටමින් එහෙම දක්ෂතා පෙන්නදි මගේ පුතාත් ජාතික කණ්ඩායමට තේරුණත් කොච්චර එකක්ද කියලා මට හිතුණා. එයාගේ තාත්තත් ඒකට ගොඩාක් ආසාවෙන් හිටියේ. හැබැයි කුසල්ට පුහුණු කරපු සර්ලා එහෙම නිතරම කිව්වා අනිවාර්යයෙන්ම කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමට ගහනවා කියලා.

මේ වෙනකොට කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරී ක්‍රීඩකයෙක්. ඒ ගැන අම්මට මොකද හිතන්නේ?

ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. එයා මල් පාරකින් මෙතැනට ආපු ක්‍රීඩකයෙක් නෙවෙයි. කුසල් අද ඉන්න තැනට එන ලොකු කැපකිරිමක් කළා. ඒ වගේම එයා ගොඩාක් දුක් වින්දා.

අපි ටිකක් මේ වෙනකොට තියෙන විස්සයි විස්ස ලෝක කුසලානය ගැන කතා කරමු. අම්මා හිතනවද කුසල් ඇතුළු කණ්ඩායම මෙදා සැරේ ලංකාවට ලෝක කුසලානය ගෙනෙයි කියලා?

මට හිතෙනවා මෙදා සැරේ අපේ අය ලොකු පෙරළියක් කරයි කියලා. මොකද කණ්ඩායමේ හරි එකමුතුකමක් පේනවා. එකම වයසේ වගේ ළමයි ටිකක්නේ දැන් කණ්ඩායමේ ඉන්නේ. ඒ හැමෝමත් දක්ෂයි.

ඉතින් බැරිවෙන එකක් නෑ. කොහොමහරි ම ආශිර්වාද  කරනවා දසුන් ශානක  එක්ක අපේ ළමයින්ට මෙදා සැරේ ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා.

මේ දවස්වල කුසල්ට බැට් කරන්න අම්මත් එක එක උපදෙස් දෙනවා කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) ඒක නම් ටිකක් විතර ඇත්ත. මමයි එයාගේ තාත්තයි නිතරම කියනවා පුතේ විකට් එකේ ඉඳලා ලකුණු ටිකක් ගහන්න කියලා. මොකද එයා බැට් කරන්නේ ආරම්භක පිතිකරු කියන තැන. එතැන ඉඳන් එයා ගහන හැම ලකුණක්ම කණ්ඩායමේ ජයග්‍රහණයට වැදගත්. ඉතින් ඒ නිසා අපි කියනවා ටිකක් ඉවසීමෙන් විකට් එකේ ඉඳලා ගහන්න කියලා.

හැබැයි එහෙම උපදෙස් දුන්නට අම්මා කුසල් බැට් කරන පළවැනි බෝල් නම් බලන්නේ නැතිලු නේද?

(සිනාසෙමින්) නෑ නෑ ඒක ගහද්දි ඇස් දෙක පියාගන්නවා. ආයෙත් දෙවැනි බෝලේ ඉඳන් තමයි ගහනවා බලන්නේ. ඒකට හේතුව පුතාට පළවැනි බෝලේ එද්දි මට චුට්ටක් හිතට බයයි.

මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු මැෂිම වෙන්නේ කුසල්. පසුගිය තරඟ කීපයේදීම ඔහු ඒක  ඔප්පු කළා. ඒ ගැනත් අම්මට කියන්න යමක්  ඇති?

අනේ පුදුම සතුටක් තියෙන්නේ.එයා මේ විදියට එකදිගට දක්ෂතා දක්වනවා දකිද්දි අම්මා විදියට හරි සතුටුයි. ඒ වගේම එයා පසුගිය තීරණාත්මක තරගවලදී ක්‍රීඩා කරපු ඉනිමේ ටික දැක්කම මට නිහතමානී ආඩම්බරයක්දැනෙනවා.

හැබැයි කාලයක්ම කුසල්ට ලකුණු අතරට එන්න බැරිවුණා. ඒ නිසාම සමහරු ඔහුගේ පිතිහරඹය ගැන විවේචන කළා. ඒ ගැන එයා අම්මත් එක්ක කතා කරලා එහම නැද්ද?

පුතා මගෙත් එක්ක වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්නේ නෑ. තාත්තා එක්ක තමයි ඒ ගැන කතා කරන්නේ. මං හිතන්නේ ක්‍රීඩකයෙක් ගත්තම හැමෝටම අමාරු කාලත් එනවා. කුසල් පහුකලෙත් ඒ වගේ කාලයක්. දැන් එයා ආයෙත් සුපුරුදු දක්ෂතා අතරට ඇවිත් තියෙනවා. ඇත්තටම කුසල් කියන්නේ හරි සංවේදී දරුවෙක්. කෙනෙක් එයාගේ හිත රිද්දුවොත් එහෙම ඒක එයාට දරාගන්න ටිකක් අමාරුයි. ඉතින් පසුගිය කාලේ වුණු දේවල් එක්ක එයා ඒ හැමදේම දරාගෙන අමාරුවෙන් තමයි ආයෙත් සුපුරුදු රිද්මයට ඇවිත් තියෙන්නේ.

ලෝක කුසලානය අතරවාරයේ පුතා අම්මලා එක්ක කතා කරනවද?

 පුළුවන් වෙලාවට කතා කරනවා. එයාට දැන් චූටි දුවෙක් ඉන්නවනේ. ඉතින් කුසල්ට එයා දකින්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා තරඟ නැති දවස්වලට වීඩියෝ කෝල් ගන්නවා. ඒ වෙලාවට දුව එයාට පෙන්නන්න ඕනේ.

කුසල්ගේ දුව ගැන කියපු එක් බිරිඳ ගැනත් නොකිව්වොත් පොඩි අඩුවක් නේද?

එයා මිෂෙල්. කුසල්ගේ පැත්තෙන් ගත්තම එයා හරි ආදරණීය බිරිදක්. මගේ පැත්තෙන් ගත්තම එයා ආදරණීය ලේලියක්. හැමවෙලේම එයා හෙවණැල්ලක් වගේ කුසල්ගේ පස්සෙන් ඉන්නවා.

එතකොට කුසල්ගේ පවුලේ වෙන කවුද ඉන්නේ?

පුතාට තව නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. කුසල් එයාලටත් පුදුම ආදරයක් තියෙන්නේ. ඒ දෙන්නත් එහෙම තමයි. හැබැයි මල්ලිට නම් ටිකක් විතර සැරයි.

ගෙදර ඉන්න දවසට එහෙම පුතා මොකද කරන්නේ?

ගෙදර ඉන්නවා නම් හරි අඩුයි. මොකද ගොඩාක් වෙලාවට පුහුණුවීම් තියෙනවා. ඒත් ඉන්න දවස්වලට සාමාන්‍ය විදියට කතාබහ කරලා ඉන්නවා. හැබැයි දැන් නම් ගෙදර ඉන්න වෙලාවට දරුවත් එක්කම තමයි.

එයා කන්න ආස දේවල් එහෙමත් ගෙදර ඉන්න දවසට අම්මා හදලා දෙනවා ඇති නේද?

කුසල් කන්න ආස දේවල් හදන්න නම් කිසිම අමාරුවක් නෑ. මොකද එයා කන්න ආසම බතුයි, කරවල තෙල්දාලයි, පොල් සම්බෝලයි.

පුතා විලාසිතා කරන්නත් ටිකක් උනන්දුයි වගේ නේද?

ඔව් ඔව් එයා විලාසිතාවලට හරි කැමතියි. කොණ්ඩේ එහෙම එක එක විලාසිතාවලට කපනවා. හැබැයි එයා හරි පිළිවෙලට ඉන්න කැමතියි.

දැන් එතකොට කුසල් ටැටූ එකක් එහෙම ගහලා ඉන්නේ අම්මගෙන් අහලද?

(සිනාසෙමින්) අනේ ඔව් මුලින්ම ඇහුවා “අම්මා මං ටැටූ එකක් ගහන්නද” කියලා. ඒත් මං කිව්වා “අනේ පුතේ ටැටූ ගහද්දි ගොඩාක් රිදෙනවනේ” කියලා. ඒත් “එහෙම රිදෙන්නේ නෑ” කියලා අතේ ටැටූ එකක් කොහොම හරි ගැහුවා.

කුසල් වැඩිපුරම සතුටින් හිටපු දවසයි වැඩිපුරම සංවේදී වුණු දවසයි අම්මට මතකද?

මං හිතන්නේ පුතා වැඩිපුරම සතුටුවුණේ එයා යාළුවෙලා හිටපු ගෑනු ළමයා බැඳපු දවසේ. දෙන්නා මුණගැහිලා තිබුණේ පල්ලියේදි. එයා වැඩිපුරම දුක්වුණේ අර ප්‍රශ්න වගයක් වෙලා කණ්ඩායමේ නැතුව හිටපු කාලේ. ඒ කාලේ නම් ටීවී එකේ මැචඑකක් එහෙම යද්දි “අනේ මමත් හිටියා නම්” කියලා කියනවා.

කුසල් හොඳට බැට් කරගෙන ඇවිත් ශතකය පෙනි පෙනී දැවී යන අවස්ථා වැඩියි කියලා අම්මට හිතෙන්නේ නැද්ද?

ඔව් ඔව් එයා ශතක පෙනි පෙනී අවුට්  වෙලා යන වෙලාවල් තියෙනවා. අපි ඒ ගැන එයාගෙන් අහද්දි එයා කියනවා “මට ලකුණු ගහගන්න මට උවමනා නෑ මට ඕන කොහොම හරි මැච් එක දිනවන්න විතරයි අම්මා” කියලා. පාසල් කාලෙත් එයා ඔය විදියමයි.

ආයෙත් ලෝක කුසලානය පැත්තට හැරුණොත් කුසගෙන් දකින්න ආස ඉනිමක්  එහම තියෙනවද?

කුසල් ටෙස්ට්, එක්දින ශතක ගහනවා මං දැකලා තියෙනවා. ඒ නිසා මං ආසයි කුසල් විස්සයි විස්ස ශතකයක් ගහනවා බලන්න. අන්තිම තරගයට ඉන්දියාව ඇවිත් ඒ ශතකය ඒ තරගයේදී ඉන්දියාවට එරෙහිව ගහනවා නම් තවත් ආසයි.

අවසාන වශයෙන් කුසල් මෙන්ඩිස් ගැන අම්මට කියන්න මොකක්ම හරි දෙයක් ඇති?

මගේ ලොකු ආසාවක් තියෙනවා එයා ලෝකයේ අංක එකේ පිතිකරුවා කියලා අහන්න. මං හිතනවා එයා මගේ ආසාව ඉක්මණින්ම ඉටුකරයි කියලා.

රුවන් එස්.සෙනවිරත්න (ධරණී)


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 2

0 Comments

Your email address will not be published.