වෛද්‍ය තුසිත සුදර්ශන
ජනනි මිහිරාවි
ඇය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ පංතියේ සිසුවියකි.
වෛද්‍ය තුසිත සුදර්ශන අරඹෙගෙදර.
ඔහු වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂවරයෙකි.
එහෙත් මේ තාත්තාත් දුවත් අපට හමුවන්නේ ඔවුන්ගේ සුගායනීය ගායනාවන් හේතුවෙනි.
මම සංගීතයට යොමුවෙන්නේ 1996 දී. මම වෛද්‍ය විද්‍යාලයට ගියත් වසර දෙකක කාලයක් වෛද්‍ය විද්‍යාලය වහල තිබ්බා රටේ ඇතිවුණු කලබල නිසා.
මේ කාලයේ දී මම සංගීත ශිල්පී ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගෙන් සංගීතය ඉගෙන ගත්තා.
තුසිත සුදර්ශන ඔහුගේ සංගීත ගමන් මගේ ආරම්භය ගැන පැවසුවේය.
වෛද්‍ය විද්‍යාලේ ඉගැන්නුවා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සර් සහ ආචාර්ය කාලෝ පොන්සේකා සර්. මම ඒ දෙන්නගෙන්ම ගී පද රචනා ඉල්ලගෙන ගායනා කළා. හැබැයි ඒ ගී දෙකටම මම යොදාගත්තෙ ඉලෙක්ට්‍රොනික් සංගීතය. සරත් වික්‍රම තමා ඒ ගී සංගීතවත් කළේ. මොකද ඉලෙක්ට්‍රොනික් සංගීතයට ඒ තරම් මුදලක් වියදම් වුණේ නෑ. ඒ විදිහට මම සිංදු 6ක් ගායනා කළා.
ඔය අතරෙ මම දීපිකා ප්රියදර්ශනිය යටතේ කටහඬ පාලනය ගැන ඉගෙන ගත්තා.
ඉන් පස්සේ වෛද්‍යවරයෙක් ලෙස රට පුරා රෝහල් ගණනාවක සේවය කළා. රෝහල් අධ්යක්ෂවරයෙක් ලෙස රෝහල් ගණනාවක සේවය කරලා නැවත කොළඹට එන්නෙ 2015 දී. ඉන් පස්සේ මං ආයෙමත් ගීත නිර්මාණය ආරම්භ කළා. ලක්ෂ්මන් හිල්මි සමග ජනප්‍රිය සංගීත රිද්මයෙන් ගීත 16ක් නිර්මාණය කළේ ඉන්පසුව.
නවරත්න ගමගේ හමුවන්නේ ඉන්පසුව. ඔහු සමග මම ගීත රැසක්ම නිර්මාණය කළා. මගේ ගායන දිවිය අර්ථවත් කිරීමට ඔහු කැපවීම් කළා. සමහර ගීතවලට ඔහු තනු තුනක් හැදුවා. ඒ තනු තුනෙන් මට වඩාත්ම ගැලපෙන තනුව මගේ ගායන පරාසයට වඩාත්ම ගැලපෙන තනුව තෝරාගෙන තමා ඔහු මට ගී නිර්මාණය කළේ. ඉන් පස්සේ මම ආචාර්ය නන්දා මාලනී එක්ක යුග ගීයක් ගායනා කළා. එතුමිය මාව අගය කළා. ඩොක්ටර්ට ලස්සනට සිංදු කියන්න පුළුවන් හොඳ කටහඬක් තියෙනවා කියලා.
ඒ අගය කිරීමම මගේ ඉදිරි ගමනට තල්ලුවක් වුණා.
පස්සේ මම නවරත්න ගමගේට යෝජනා කළා යුග ගීත කිහිපයක් නිර්මාණය කරමු කියලා. මම ලතා වල්පොල මහත්මිය සමඟ ගීතයක් ගායනා කළා. විශාරද දීපිකා ප්‍රියදර්ශනී, විශාරද ශෂිකා නිසංසලා, විශාරද උරේෂා රවිහාරි. විශාරද නෙලු අදිකාරි එතකොට සුභානි හර්ෂණී සමග.
මේ ගායිකාවන්ගේ කටහඬ පරාසයන් එකිනෙකට වෙනස්. ඒ හඬවල් සමග මගේ හඬ එක්කිරීම අභියෝගයක්. එත් නවා ඒ අභියෝගය ජය ගත්තා.
මගේ යුග ගී පෙළ ශ්‍රාවකයන් ආදරයෙන් වැළඳ ගත්තා.
ඔය විදිහට මගේ සියවැනි ගීතයත් මේ වසරාවසානයේ එලිදක්වන්න මට පුළුවන් වුණා. ඒ ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. වෛද්‍ය තුසිත සුදර්ශන කීවේය.
අපේ ලිපියේ මාතෘකාව දුවත් සමග ගී ගයනා දොස්තර තාත්තාය. එබැවින් දොස්තර දියණිය ද ‘සදැල්ල’ට කැඳවිය යුතුය.
ජනනි මිහිරාවි ඇයයි.
මම ඉස්කෝලේ ජනගායනා තරගවලට සහභාගි වුණේ පුංචි පංතිවල ඉඳලාමයි. ඒ තරග රාශියකින් ජාතික මට්ටමට ගිහින් ‘ගොල්ඩ් මෙඩ්ල්’ පවා මට ලැබුණා. ඉතින් තාත්ති, මාව නන්දා මාලනී මිස්ගේ සංගීත ආශ්රමයට ඇතුළත් කළා. මම එතුමියගෙන් විශාරද විභාගයට ඉගෙන ගන්නවා.
ඔය අතර තමයි තාත්ති එක්ක යුග ගී කියන්න මටත් අවස්ථාවක් ලැබෙන්නෙ. මේ වෙද්දි මම ගීත 16ක් ගායනා කරලා තියෙනවා.
ඇයි දුවව මේ විදිහට සංගීතය පැත්තට යොමු කරන්නේ. තාත්තා වගේම දොස්තර කෙනෙක් කරන්න අදහසක් නැද්ද?
මම වෛද්‍ය තුසිත සුදර්ශනගෙන් අසමි.
ඔය ප්‍රශ්නෙ මේ රටේ බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක්. ඒත් මම ජීවිතේ දිහා බලන්නෙ ඊට වෙනස් විදිහකට. අපි ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ සතුට වින්දනය. ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නෙ අපිට සතුට දැනෙන දෙයක් කළාමයි. මම වුණත් වෛද්‍ය පරිපාලනය කළාට ආත්ම තෘප්තියක් ලබන්නේ සතුටක් ලබන්නෙ ගීතයෙන්, සංගීතයෙන්. ඉතින් මගේ දුව කැමති සංගීතය පැත්තෙන් ජීවිත ගමන හදාගන්න නම් මම ඇයට ඒ පැත්තට යොමුවෙන්න ඉඩක් දෙනවා.
0 Comments