පිළිකා මාරයා පැරදවූ සුපිරි බොලිවුඩ් තරු….


0

සමස්තයක් ලෙස ගත් කල “පිළිකාව” යන වචනයට අප හැමෝගෙම සිත තුළ ජනිත වන්නේ යම් ආකාරයක බියකි. මීට දශක කිහිපයකට පළමුව “පිළිකාව” ඉතාම අසාමාන්‍ය මට්ටමේ රෝගාබාධයක් වුවද දැන් දැන් එය වසංගත රෝගාබාධයක ආකාරයට නීරෝගී මිනිසුන් ඉතා සුලබව ගොදුරුකර ගනිමින් සිටියි.

ඉන්දීය සුපිරි තරුද එම ශ්‍රේෂ්ඨ සටනට දායක වූවන් අතර සිටින බව සතුටින් ප්‍රකාශ කර සිටින්නට පසුගිය දිනවල ඉන්දීය මාධ්‍යයන් පෙළගැසී සිටියහ. සතුටට හේතුව වන්නේ තම රංගන හැකියාවෙන් දැයක් පිනවන ඔවුන්, පිළිකාව හමුවේද නොපැකිළව සිනාසෙන්නේ පිළිකාව යන අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙමින් සිටින සාමාන්‍ය මිනිසුන්ටද ජීවත්වීමේ ආසාව සහ ධෛර්යය තිළිණ කරමිනි.

“කමෝෂී” චිත්‍රපටයෙන් ඉන්දීය ප්‍රේක්‍ෂකයන්ගේ සිත්සතන් තුළ වියැකී නොයන කඳුළක් තැබූ මනීෂා කොයිරාලද පිළිකා රෝගයට ගොදුරු වූ සොඳුරු සුපිරි තාරකාවකි.

තමා පිළිකාවකින් පෙළෙන බව මනීෂා ස්ථිරව දැනගත්තේ 2012 දීය. පුදුමය කියන්නේ මේ ලස්සන තාරකාව එය කිසිසේත්ම සඟවාලන්නට උත්සාහ දැරුවෙ නැත. තම කැරලි සහිත ලස්සන කෙස් වැටිය අහිමිවී යෑමේ දුකක්වත් ඇයට නොතිබිණි. සම්පූර්ණයෙන්ම තට්ට වූ හිස සමඟ මනීෂා උත්සවවලට සහභාගි විය. ඡායාරූපවලට මුහුණ දුන්නාය.

“ස්කාෆ්” එකක් භාවිතයට ගෙන ගමන් බිමන් යන්න යැයි හිතවත් මිතුරියක මනීෂාට පැවසූ විටෙක මනීෂා සිනාසෙමින් කියා තිබුණේ “සත්‍යමය තත්ත්වය වසන් කිරීම සිතට සහ මනසට වදයක් බවයි.”

වසර ගණනක් තිස්සේ මනීෂා “මෙටාස්ටැටික්” යන පිළිකා තත්ත්වයෙන් දුක්වින්දාය.
මගේ අම්මා පිළිකා රෝගයට මැදිවූ මොහොතේ මම ඇයට ආදර්ශයක් කොට දුන්නේ මනීෂා කොයිරාල නම් වූ “සුපිරි තාරකාවගේ” ආත්ම විශ්වාසයයි.

“මම මගේ අම්මාට කිව්වා මනීෂාව ආදර්ශයට ගන්න. පිළිකාවට ප්‍රහාරාත්මක උත්තරයක් දෙන්නය කියලයි.”

Manisha Koirala Post Cancer Diet: Nutrition For Cancer Survivors


ලෝක පිළිකා දිනය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවට පැමිණි මනීෂාට ඇයට ළැදි ප්‍රේක්‍ෂිකාවක් දුරකතනයෙන් කතාකොට කීවේ එවැනි සංවේදී කතාවකි.
දැන් දැන් මනීෂා සම්පූර්ණ සුවයට පත්වෙමින් සිටින අතර, කලා කටයුතු සඳහාද අතගසන්නට බලාපොරොත්තුව සිටින්නීය.

“සුපිරි තාරකාවන් පමණක් නෙවෙයි, 2019 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ඉන්දියාවේ බොහොමයක් වූ අසරණ මිනිසුන් සිය ගණන්, දහස් ගණන් පිළිකා රෝගයක ගොදුරුව සිටිනවා. ඒ අය වෙත වගකිව යුත්තන්ගේ දැඩි අවධානයක් සැලකිල්ලක් යොමුවේවා යන්න මම කාරුණිකව ඉල්ලා සිටිනවා.”
මනීෂා ලෝක පිළිකා දිනය වෙනුවෙන් පැවැති සම්මුඛ සාකච්ඡාව අවසන් කළේ එලෙසිනි.

ඉර්ෆාන් ඛාන්ද පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතිදක්‍ෂ සුපිරි තරුවකි.
තමා ඉතා දරුණු පිළිකා තත්ත්වයකින් පෙළෙමින් සිටින බවත් ප්‍රතිකාර සඳහා මඳ කාලයකට සිනමාවෙන් සමුගන්නා බවත් ඉර්ෆාන් මෑතකදී විද්‍යුත් මාධ්‍යයක සටහන් කොට තිබිණි. නමුත් පිළිකා තත්ත්වය මත චිත්‍රපට භාර ගැනීම අතහැර දැමීමට හෝ සම්මුඛ සාකච්ඡාවලින් ඉවත්ව සිටීමට ඉර්ෆාන් උත්සාහ කළේ නැත. නිතරම පාහේ දැඩි හිසේ අමාරුවකින් වගේම යම් මානසික පීඩාවකින් පෙළුණද, ඉර්ෆාන් කලා කටයුතුවල නොපැකිලිව නියැළුණේ ඒ සියල්ල සිතේ දරාගනිමින්ය.

Irrfan Khan fights cancer; His new Twitter display picture is all about  positivity and smiles | Celebrities News – India TV


“පිළිකා තත්ත්වයකින් පෙළෙන්නේ” යැයි මාධ්‍ය හමුවේ සාමාන්‍ය ප්‍රකාශයක් කළ ඉර්ෆාන් පසුව එක එල්ලේම තමා ස්නායු සම්බන්ධ මොළේ පිළිකාවකින් පෙළෙන බව ප්‍රකාශ කර සිටියේය. එම ප්‍රකාශයෙන් පසුව හිටි අඩියේම ඉර්ෆාන් අතුරුදන් විය. ප්‍රසිද්ධ ජීවිත රටාවෙන් සැඟව ගියේය. “නිවෙස” යන විෂය තුළ පවුල් වටපිටාවෙන්ද ඔහු ගැන ආරංචි ලැබුණේ නැත. ඉර්ෆාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ ඔහු සංචාරයක් සඳහා ලන්ඩනයට ගිය බවය.

නුදුරු දිනකදී මුම්බායි ගුවන් තොටුපොළේදී හදිසියේම වාගේ පැපරාසියකුට ඉර්ෆාන්ව මුණගැසුණේය. ඉතාම සරල ඇඳුමින් සැරසී සිටි ඔහු රෝද පුටුවක ඉඳගෙන සිටිනු දුටු පැපරාසියා ඉර්ෆාන් වෙත කැමරාව මානන විටම ඔහු දෑතින් මුහුණ වසාගෙන තිබුණේ කලබලයෙන් වාගේය.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද එම සිදුවීම පැතිර ගියේය. ඉර්ෆාන් එයට පිළිතුරු දුන්නේ නැත.
නමුත් ඉර්ෆාන්ගේ මාධ්‍ය ප්‍රකාශකයා, ඉර්ෆාන් ඛාන් සිය නවතම චිත්‍රපටයේ වැඩ භාරගත් ආරංචිය ඊට මඳ කලකට පසුව ප්‍රකාශ කර සිටියේය.

“මම දැන් ඉතාම සුවෙන් දවස ගෙවනවා. බලන්න මගේ පෙනුම. මම නරක අසනීප තත්ත්වයකට ගොදුරුව සිටිය බව පෙනෙන්නටවත් නැහැ නේදැ”යි යනුවෙන් ඉර්ෆාන් ඛාන්ද සුහද සරල සිනාවකින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.

ඇත්තෙන්ම ඉර්ෆාන් කීවේ බොරුවක් නොව, හෙතෙම සුපුරුද ක්‍රියාශීලී ස්වරූපය හොඳින් ප්‍රකට වන ආකාරයට මාධ්‍ය සාකච්ඡාවට මුහුණදුන්නේය.

ප්‍රවීණ නිරූපිකාවක මෙන්ම සිනමා නිළියකද වන සොනාලි බ්‍රෙන්දේ ද දරුණු පිළිකා තත්ත්වයකට මුහුණ දුන්නේ මීට ටික කලකට ඉහතදීය.

තමා පිළිකාවකින් පෙළෙන බව සොනාලි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ 2018 ජූලි මාසයේදීය. ඇගේ සුරූපී රූපශ්‍රියාව වශීකෘතව සිටි රසිකයන් එම පුවතින් කම්පනයට පත්විය.

Looking Back, Cancer Survivor Sonali Bendre Writes "Didn't Let The C-Word  Define My Life"


එහෙත්, සොනාලි එතරම් සැලුණු බවක් පෙනෙන්නට තිබුණේ නැත. පිළිකා තත්ත්වය ඉතා දරුණුව මෝරා එමින් තිබියදීද සොනාලි ඉතා සුන්දරව සැරසී රියැලිටි වැඩසටනකටද මුහුණ දුන්නාය.

සොනාලිට තිබුණේ ලස්සන ස්ටේ්‍රට් කෙස් වැටියකි. ප්‍රතිකාර නිසා කෙමෙන් හැලී යන විට වුවද සොනාලි දුක් වූයේ නැත. ප්‍රතිකාර සඳහා ඈ එක්සත් ජනපදයට පිටත්ව ගියේ ඇගේ සැමියා වන ගෝල්ඞ් බෙල් සමඟය.

2019 වන විට සොනාලි බ්‍රෙන්දේ ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටින බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සටහන්ව තිබිණි. ඊට සාක්‍ෂි වශයෙන්දෝ සොනාලි වැඩෙමින් තිබෙන තම කොණ්ඩය සමඟ සොඳුරු සේයාරූ එකතුවක්ද ඊට එක්කර තිබුණාය. තව දුරටත් සොනාලි බ්‍රෙන්දේ ඉතා කටුක අවස්ථාවක මානසිකව නොසැලී සිටින්නට තමාට ශක්තිය දුන් සමීපතමයන් ගැන ආදරණීය සටහනක්ද මෙසේ එක්කොට තිබිණි.

“ඉතාම ළබැඳි ලෙස මට ශක්තිවන්තව සිටින්නට ශක්තිය දුන් මනීෂා කොයිරාල නම්වූ සුරදූතියව ඉතා ආදරයෙන් මෙහිදී සිහිකරමි. මනීෂා මට ජීවිතය ගැන ඒ හා පැමිණෙන දුක – සැප සහ යහපත් – අයහපත් කාලවකවානු ගැනද ඉතා දයාවෙන් කරුණු වටහා දුන්නාය. සමීප මිතුරියක, සොහොයුරියක ලෙස මනීෂා මට දුන් “ආත්ම ශක්තිය” මා තුළ අමරණීය මතකයක්ව නිදන්ගතව තිබෙනු ඇත.

එලෙසම මගේ දයාබර සැමියා ගෝල්ඞ් බෙල් මගේ අසල සෙවනණැල්ල මෙන් සිට මා දිරිමත් කළ ආකාරය අතිශයින්ම සෙනෙහෙබරය. ඔහු වැනි සහකරුවකු ලබන්නට මා කොතෙක් නම් පින් කරන්නට ඇතිද කියා මට හිතෙන වාර අනන්තයි.
“සත්තකින්ම ගෝල්ඞ් ඔයාට ගොඩක් ස්තුතියි.
සොනාලි තම දිගු සටහන අවසන් කොට තිබුණේ එහෙමය.
එයට පිළිතුරු වශයෙන් සොනාලිගේ සැමියා ගෝල්ඞ් බෙල්,
“ඔබ බලාපොරොත්තුව සිටි සොඳුරු සොනාලි ඔබ වෙත යළි පැමිණ ඇත. ඉතින් මගේ සිහින කුමරිය දැන් ඔබ වෙනුවෙන් රඟනු ඇත” යන්න සටහන් කළේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.