මේ මොහොත අරගලය අත් හරින්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි…


0

රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් ලෙස හැමෝගේම ආදරය දිනාගත් දිනූපා කෝදාගොඩ අරගලභූමියේදී අපට නිතර මුණ ගැහෙන චරිතයක්. ඇය ඇතුළු කලාකරුවන් තම කලාවෙන් අරගලයට ශක්තියක් වන අයුරු අපට දකින්න ලැබෙනවා. අරගලයේ ස්වභාවය පිළිබඳව දිනූපා සාරවිට සමග සාකච්ඡාවකට එක් වූයේ මේ ආකාරයටයි.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

අපි කරන්න බලාපොරොත්තුවෙන් හිටපු වැඩ කිහිපයක් ටිකක් පස්සට දාලා වෙන වැඩ ටිකක් කරගෙන යන්නේ. අපි කලින් දායක වුණු නිර්මාණ කිහිපයක් එළිදක්වමින් ඉන්නවා. අළුතෙන් කියලා කරන්නේ රටේ තිබෙන වාතාවරණයත් එක්ක ඒවාට කරන වැඩ තමයි.

ඔබව නිරන්තරයෙන් අරගලභූමියේදී දකිනවාඔබ මේ අරගලයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඇත්තටම අරගලය කියලා මේ වෙද්දි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ ගෝල්ෆේස් එක කේන්ද කරගෙන තිබෙන දේනේ. මට හිතෙන විදිහට ඒක සංකේතාත්මක හැඳින්වීමේ වරදක් නැහැ. මොකද එතනට හැමෝටම ගිහිල්ලා පොදුවේ අරගල කරන්න පුළුවන්. එතන වෙනම සංස්කෘතික වටපිටාවක් ගොඩනැගිලා තිබෙනවා. ඒකට අපිත් හරි කැමතියි. හැබැයි අපි සෑහෙන කාලෙක ඉඳලා මේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්නවලට මුහුණ පාමින් එනවා. අපිට නම් අපේ අරගලය පටන් ගත්තේ කවදාද කියලා මතක නැහැ. අපි හැමතිස්සේම මේ පවතින සිස්ටම් එකට අනුගත වෙලා වැඩ කළේ නැහැ. විශේෂයෙන් මම සහ මගේ සහකරුවා මේ සිස්ටම් එකට අනුගත වෙලා හිටියේ නැහැ. අපි අපි විශ්වාස කරන යම් දේශපාලනයක් ඇතුළේ අපේ දෛනික වැඩකටයුතු සහ නිර්මාණාත්මක වැඩ කටයුතු කරමින් සිටියේ. ඉතින් ඒ නිසා රට මේ යන විදිහ ගැන අපිට ප්‍රශ්න තිබුණා. අපි ඒ ගැන කතා කළා. අපි ඒ ගැන නිර්මාණ කළා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් දැනුම ලබාගනිමින් සහ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් දැනුම්වත් වෙමින් සිටියා.

මේ වෙලාවේ මේ අරගලයට එකතු වෙලා ඉන්න මිනිස්සුන්ගේ අරමුණු සමහරවිට එකිනෙකට වෙනස් ඇති. හැබැයි මේ සිස්ටම් එක දරාගන්න බැරි තරමට ආව නිසා තමයි මිනිස්සු එළියට බැස්සේ. අපිත් කාලයක් තිස්සේ නිර්මාණ හරහා සහ සාකච්ඡා හරහා කරගෙන ආව දේවල් එක්ක මුලින්ම එළියට බැස්සේ මුලින්ම ඇඳිරිනීතිය දාපු දවසේ. මේ මොහොතේදී අරගලයට එළියට බැස්ස එක ගැන කතා කරනවා නම් එහෙම තමයි පටන්ගත්තේ.

මේ මොහොතේදී රටට අවශ්‍ය වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්ද?. නැත්නම් මිනිස්සුන්ට උහුළන්න බැරි ජීවන බරට සහනයක්ද?

ජීවන බර කියන්නේ ආර්ථිකය විතරක්ම නෙවෙයි. මේ රටේ ජීවත්වීම අමාරු වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි මේ පවතින සිස්ටම් එක. අපි විශ්වාස කරන්නේ නැහැ මේ සමාජ ක්‍රමයේ වෙනසක් වෙන්නේ නැතුව ආර්ථිකයට පොඩි පොඩි පැලැස්තර දාලා, දේශපාලනයට වෙනම පැලැස්තර දාලා, අධ්‍යාපනයට වෙනම පැලැස්තර දාලා හරි යයි කියලා. මම හිතන්නේ නැහැ මෙතැනට රැස් වෙන හැමෝටම සිස්ටම් චේන්ජ් එකක් ගැන ලොකු දැනුමක් තිබෙනවා කියලා. නමුත් සමාජයේ උගත් බුද්ධිමත් පිරිසගේ ඉඳලා පහලට පහලට ඉන්න මිනිස්සුන්ගේ යම් පිරිසකට සමාජ ක්‍රමයේ වෙනසක් ඇතිවෙන්න ඕනේ කියන හැඟීම දැන් ඇති වෙලා තිබෙනවා. අපි විශ්වාස කරන විදිහට අනිවාර්යෙන්ම මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි.

අරගල භූමියේ නිර්මාණය වුණු සංස්කෘතික වටපිටාව ඇතැම් පිරිස් කානිවල් එකක් විදිහට හඳුන්වනවාඅරගලයට කලා නිර්මාණවලින් ලැබෙන දායකත්වය මොනවගේද?

මේක කානිවල් එකක් විදිහට හඳුන්වන අයට මේ ලෝකේ ගැන තිබෙන දැනුම පිළිබඳ ප්‍රශ්නයක් මට තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති එයාලා එහෙම කියන්නේ. අරගලයක් කියන්නේ මිනිස්සු කෑ ගහමින් පවත්වාගෙන යන එකක් නෙවෙයි. දැන් මිනිස්සු දියුණුයි. තාක්ෂණය දියුණුයි. ගෝත්‍රික නැහැ. වෙනත් රටවල වෙන දේවල් දකිනවා. ඒවායෙන් යාවත්කාලීන වෙනවා. අරගලයක් කියන්නේ විවිධ විදිහට විරෝධය පෑම. මේක ඇතුළේ සංස්කෘතික වටිපිටාවක් නිර්මාණය වුණු එක තමයි මේ අරගලයේ තිබෙන හොඳම දේ. කලාවට, දැනුමට ඉඩක් ලැබිලා තිබෙනවා. ඒක ඉතා දියුණු තත්ත්වයක්. අපේ රටේ තිබෙන අධ්‍යාපන තත්ත්වයත් එක්ක අපි හිතුවේ නැහැ මිනිස්සු මෙච්චර ඉක්මනට මේවාට හැඩ ගැසෙයි කියලා. ඒ ගැන ඇත්තටම සතුටුයි. කලාවෙන් ඇත්තටම ලොකු සමාජ මෙහෙවරක් සිදු කරනවා කියලා කලාකරුවෝ විදිහට අපි විශ්වාස කරනවා. ඒකට හොඳම උදාහරණය මේ අරගල භූමිය. මගේ අත්දැකීම් සහ මම ඉගෙනගෙන තිබෙන දේවල් එක්ක මම දන්නවා කලාව තුළින් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා කලාව අරගලයත් සමග බැඳී තිබීම ඉතාම හොඳ තත්ත්වයක් විදිහටයි මම දකින්නේ.

තෙල් නැහැ කියලා පාරවල් හරස් කරලා මිනිස්සුන්ව පීඩාවට පත්වුණු අවස්ථා තිබෙනවාමේ ගැන යමක් සඳහන් කළොත්?

මිනිස්සුන්ව හැම අතින්ම පීඩාවට පත්වෙනකොට මානසිකව හැමෝම සමබර නැහැනේ. එක් එක් අයට දරන්න පුළුවන් සීමාවන් තිබෙනවා. ඒ වගේ දෙයක් වෙද්දි ඇතිවෙන තත්ත්වයක් ඒක. ඒ වගේ දේවල් කරන්න එපා කියලා කියන්නේ අපිත්. අපි අපිවම අමාරුවේ දාගෙන වැඩක් නැහැනේ. අපි දැක්කා මිනිස්සු පෙට්‍රල් ශෙඩ්වල ගහගන්නවා. ගෑස් ටැංකි තමන්ට ලැබුනේ නැත්නම් ලැබුණ අයට යන්න දෙන්නේ නැහැ පාර වහනවා. ඒ වගේ දේවල් වෙන්නේ පීඩාවට පත්වෙලා ඉන්න අපි අපිම තවත් පීඩාවට පත්වෙන එක. ඉතින් හැමතිස්සේම හිතන්න ඕනේ අපි කරන ක්‍රියාවේ ප්‍රතිපලය මොකද්ද කියලා. ඒකටනේ අපිට මනසක් දීලා තියෙන්නේ. මිනිස්සු විදිහට අපි මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ අපි කාටද විරුද්ධ වෙන්න ඕනේ, කාටද විරෝධය පාන්නේ කියලා. අනේ පුළුවන් තරම් තම තමන්ට කරදරයක් නොකර උදව් කරගෙන බෙදා හදාගෙන සාමූහිකව හිතලා ජීවත් වෙන්න කියලා.

ජීවන අරගලයේ යෙදිලා ඉන්න අය වගේම අරගලයට සම්බන්ධ වෙලා ඉන්න මිනිස්සුන්ටත් යමක් පැවසුවොත්?

ඇත්තටම මේ මොහොත කියන්නේ අපි කාටවත් අරගලය අත් හරින්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. මොකද දැන් එන්න එන්නම බෙල්ලට වැටිලා තිබෙන තොන්ඩුව තද වෙන එකයි වෙන්නේ. මම හිතන්නේ නැහැ කොහොමටවත් අරගලය නවතියි කියලා. ගෙවල් හදන වාහන ගන්න එක පැත්තකින්ම තියන්නකෝ. මේ මොහොතේ අපිට ජීවත්වෙනවා කියන එක තමයි තිබෙන ලොකුම අභියෝගය. ජීවත් වෙන්න තිබෙන අභියෝගය දැක්කාම අරගල කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද?

කැළුම් දේවින්ද


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.