හරිම සුන්දර ළමා කාලයක් අපට තිබුණා….


0

මව්පිය උරුමයෙන් කලාවට පිවිසෙන තරු දරුවන් මෙරට මනේම ජාත්‍යන්තරය තුළත් අපහට හමුවේ. අද හදසර My Story තුළින් අප හමුවන ඇයද තරු දැරියකි. එහෙත් කලාවේ රැඳෙන්නට මව්පියන්ගේ තරු එළිය පමණක් නොසෑහේ. ඒ බැව් වඩාත් මැනවින් හඳුනාගෙන කලාවේ රැඳී සිටි ඇය මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ට අමතක නොවන චරිත රුසක්ම මුණ ගැස්වූවාය. එමෙන්ම රංගනයට පමණක් සීමා නොවී චිත්‍රපට නිෂ්පාදනයටද ඇය එක්වූවාය. තම මව රඟපෑ චිත්‍රපට හැරෙන්නට වෙනත් කිසිදු චිත්‍රපටයක් පවා නරඹා නොතිබූ ඇය සිනමාවට පිවිසෙන්නේම තම ආදරණීය මවගේ සිහිනයක් සැබෑ කරන්නටය. එමෙන්ම ඇය උපාධිධාරිනියක බවට පත්වූයේ පියාගේ සිහිනය සැබෑ කරන්නටය. ඉතින් අද ඒ ආදරණීය දියණියගේ කතාව අහන්නට හදසර සමඟ රුඳෙමු. දංචූටි කියූ සැණින් සිහියට එන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණ්සේකරයි.

විජේසූරියගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර නමින් මහනුවරදී උපත ලද ඇය පවුලේ වැඩිමල් දියණියයි. ඇයට සහෝදරියන් තිදෙනකු සහ සහෝරයකු සිටි අතර මීට මාස කිහිපයකට පෙර සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් එම එකම සහෝදරයා (මල්ලී) ඔවුන්ගෙන් සදහටම සමුගත්තේය.

“හරිම සුන්දර ළමා කාලයක් අපට තිබුණා. මමයි නංගිලයි, මල්ලියි. අපි තාත්තා එක්කයි වැඩිපුර හිටියේ. රඟපෑමේ කටයුතුත් එක්ක අම්මා කාර්යබහුලයි. ගොඩක් වෙලාවට හිටියේ කොළඹ. තාත්තා එක්ක අපි එයාට මාරුවීම් ලැබෙන ගොඩක් තැන්වලට ගියා. මගේ තාත්තා ස්ටැන්ලි ගුණසේකර. ඔහු තැපැල් ස්ථානාධිපති කෙනෙකු හැටියට තමයි වැඩ කළේ. අම්මව නම් ගොඩක් අය දන්නවානේ. තලතා ගුණසේකර. ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල උඳුගොඩ විද්‍යාලයෙන්. එහි සිටියේ මාස පහක් හයක්. මම පාසල් ගණනාවකට ගියා. බණ්ඩාරවෙල පාසල් ගියා. කෙසේ වුවත් මහනුවර මහමායා බාලිකාවෙන් තමයි උසස් අධ්‍යාපනය ලියා ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් පාසල් ගමනට තිත තැබුවේ. මම කැලණිය විශ්වවිද්‍යාලයේදී මගේ උසස් අධ්‍යාපනය හැදෑරුවා.

නදීකා කුඩා කල ඉතා අවිහිංසක සුකොමල දැරියක වූවාය. පවුලේ අය ඇයට කිව්වේ “නිදිකුම්බා මල” කියාය. නැගණියන් ක්‍රීඩා ආදී බාහිර දේ සඳහා එක්වුවත් ඇය පතපොත අධ්‍යාපනයටම සිත යෙදෙව්වාය. “අපි හතර දෙනා එකතුවුණාම සෙල්ලම් කරනවා. කෑගහනවා. පොඩි වයසේදී තාත්තා තැපැල් ස්ථානාධිපති ලෙස සේවය කරද්දී අප ඒ නිල නිවාසවල තමයි ජීවත්වුණේ. තාත්තා දහවල් කාලයේදී තැපෑලේ වැඩ. අපි හතරදෙනා ගෙදරට වෙලා විනෝදෙන් ඉන්නවා. පෙඩි පොඩි රණ්ඩු ඇතිවෙනවානේ. ඉතින් තාත්තා කෑගහනවා. ඒ කාලේ තැපෑල ගොඩක් කාර්යබහුලයිනේ. තාත්තා වැඩකරන අතරේ අපේ කෑ ගැසීම ඇහෙනවානේ. එතැන කට්ටිය හිනාවෙනවලු. සමහර වෙලාවට අපි දොරට තඩිබානවා. තාත්තේ මෙයා ගහනවා කිය කියා… තාත්තාට හොඳටම කේන්ති ගියාම ගෙදරට එනවා. ඇවිත් සැරකරලා අපිව කණුවකට ගැටගහලා යනවා. තාත්තා ගියාම ලොකු නැන්දගේ දුවලා (අක්කලා) තමයි අපිව බලාගන්නේ. ඉතින් අනේ ලිහන්නකෝ කියලා ඇවිටිලි කළාම අපිව ලිහනවා. කවදාකවත් අමතක නොවන හරිම සුන්දර අතීතයක් ඒක.”

නදීකා විශ්වවිද්‍යාල වරම් ලබන්නේත්, සිනමාභිෂේකය ලබන්නේත් ඉතා ආසන්න කාලවකවානුවලදීය. හරියටම කිව්වොත් ඇය එක්වරම වාගේ තම මවගේ පියාගේ සිහින සැබෑ කළාය. “ඉස්සර අපි තාත්තගෙ ගමට යන්නෙ (ගම්පොල) පේරාදෙණිය පහු කරගෙන. මෙහෙම යද්දී බොහොම අභිමානවත්ව සුන්දරව දකින්නට ලැබෙන තැනක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එතකොට තාත්තා මට විශ්වවිද්‍යාලය පෙන්වලා කියනවා අර පේන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. උසස් අධ්‍යාපනය ලබන්න නම් එතැනට යන්න ඕන කියලා. මේක මගේ හිතේ ගැඹුරින්ම රුඳුණ කතාවක්. ඉතින් මටත් ඕන වුණා ඒ හීනය හැබෑ කරගන්න. එතකොට මගෙ අම්මා ගොඩක් කැමති වුණා රංගනයට අවතීර්ණ වෙනවාට. ඒ නිසාම 1977 වසරේදී එම්.ඒ. සංඝදාස මහතාගේ “කාංචනා” චිත්‍රපටයෙන් රංගනයට එක්වුණා. එය 1980 දී තිරගත වුණා.”

නදීකා ගුණසේකර යන නම ඇයට ලැබෙන්නේ සිනමා ප්‍රවේශයත් සමඟය. ඊට ප්‍රධාන හේතු දෙකක් විය. ඇයට උපතින් ලැබුණ නම සන්ද්‍යා දර්ශනීය. එහෙත් එවකට සිංහල සිනමාවේ තවත් සන්ධ්‍යා කෙනෙකු විය. ඇය සන්ධ්‍යා කුමාරිය. සන්ධ්‍යා කුමාරි නදීකාගේ මවගේ සමකාලීන රංගන ශිල්පිනියක වූවාය. ඇය සන්ධ්‍යා දර්ශනී නාමය වෙනුවට නදීකා ගුණසේකර යන නම සන්ධ්‍යා වෙත යෝජනා කළාය. ඒ සිංහල සිනමාවට සන්ධ්‍යලා දෙදෙනෙකු අවශ්‍ය නැතැයි පවසමිනි. “ඒ වගේම තවත් හේතුවක් තිබුණා මගේ සන්ධ්‍යා දර්ශනී නමෙහි ඝන පිහිටීම එතරම් උචිත නොවන වග ප්‍රවීණ සිනමාවේදී සිරි කුලරත්න මහතා පැවසුවා. නදීකා ගුණසේකර නම ඝන පිහිටීම අතින් ඉතා සුබ බවයි පිළිගැනීම වුණේ. මේ නිසාම මම සිනමාව තුළ ගොඩනැගුණේ නදීකා ගුණසේකර නමින්. “කාංචනා”ගෙන් ඇරඹුණු ගමන් මඟ තුළ මම මුල් කාලයේදී වසරකට චිත්‍රපට කිහිපයක්ම කළා. අතිශයින්ම කාර්යබහුල වුණා. විශ්වවිද්‍යාලය තුළ එක් වසරකදී මට විභාගයකදී එකවර විෂයන් සියල්ල සමත්වෙන්නටත් නොහැකි වුණා. එනිසා දෙවැනි වසරේ ඒ සියලු ප්‍රශ්න පත්‍රවලට එකවර මුහුණ දුන්නා. ඉතා දැඩි දුෂ්කරතා මැද ලබාගත් ඒ සියල්ල ගැන අද සතුටුයි.”

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා….
තනිකළේ…. පාසැල් බිමේ….

කුලරත්න ආරියවංශ ලියූ වික්ටර් රත්නායක සංගීතවත් කොට නන්දා මාලිනිය ගැයූ එම ගීය ඇතුළත් වූයේ 1981 වසරේදී තිරගත වූ මහාචාර්ය සුනිල් ආරිරත්න අධ්‍යක්ෂණය කළ වජිරා චිත්‍රපටයටය. ඇය “වජිරා” ලෙසින් රංගනයට එක්වූවාය. ඒ අමරසිරි කලංසූරිය සමඟය. 1981 වසරේදීම තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “බැද්දේගම” තුළද හින්නිහාමි ලෙස ඇය අපූරු රංගනයක් ඉදිරිපත් කළාය. එම වසරේදීම සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ “චංචල රේඛා” හි “දංචූටි” ලෙස අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළාය. දෑස් නොපෙනෙන තම සොයුරාට කණවැල අල්ලන ආදරණීය නැගණියක ලෙස නදීකා ඉදිරිපත් කළ රංගනය සිනමා ප්‍රේක්ෂකාගාරයම එකරුයින් කළඹාලන්නට සමත් විය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මෙහි ඇගේ දයාබර අයියණ්ඩිය විය. “අධිෂ්ඨානය (මංගලිකා), යහළු යෙහෙළි (මුදිතලතා), වත්සලා අක්කා (වත්සලා), රිදී නිම්නය (කුසලාවතී) ආදී චරිත මෙන්ම “හොඳින් නැත්නම් නරකින් (ගෝතමී මොලමුරේ), ඔක්කොම රජවරු (දර්ශනී) ආදී ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට සඳහාද ඇය රංගනයෙන් එක් වූවාය.

නදීකා සිනමාවට තරම් නොවුණද ටෙලිනාට්‍යය කිහිපයක් සඳහා රංගනයෙන් එක්වූවාය. එඩ්වඩ් මල්ලවාරච්චිගේ “හිමි අහිමි” නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ “හිමි අහිමි, නිරෑපමාලා”, “එතෙර පැතුම්” ආදී ටෙලිනාට්‍යයන් ඒ අතර විය.  උණ්ඩ සම්මාන උළෙලේදී “හිමි අහිමි” රංගනය වෙනුවෙන් දක්ෂතම නිළිය ලෙස සම්මානයටද පාත්‍ර වූවාය. එහෙත් සිනමාවේ කාර්යබහුල නිළියක වූ ඇය ටෙලිනාට්‍ය රංගනයට යොමුවූයේ ඊට සාපේක්ෂව අඩුවෙන්ය.

“මා සිනමාවට එක්වූ කාලසීමාවේදී සිනමාවේ ශිල්පීන්, ශිල්පිනියන් ටෙලිනාට්‍යය රංගනයට එක්වුණේ අඩුවෙන්. ඒ වගේම සමහර වෙලාවට සිනමාවට වඩා ටෙලිනාට්‍ය කර්මාන්තය තුළ එකම චරිතයක දිගු කාලයක් රංගනයේ යෙදෙමින් කරන රංගනය තුළ යම් ඒකාකාරී ස්වරෑපයක් මට දැනුණා. සමහරවිට පිටපත බලලා, රෑපගත කෙරෙන කාල වකවානු, නැවත නිවසට එන වෙලාව සහ නිවසින් පිටවෙන්නට නියමිත වෙලාව වැනි දේ ගැන විමසා බලලා ප්‍රතික්ෂේප කළ චරිත තිබුණා. සමහර ජනප්‍රිය ප්‍රධාන චරිත පවා ඒ අතර තිබුණා. මම හිතන්නේ කලාවේ වෘත්තීමය ශිල්පීන් ලෙස අප යම් විධිමත්භාවයක් පවත්වා ගත යුතුයි. එවිටයි එහි වෘත්තීය ගරුත්වය සුරැකෙන්නේ.”

නදීකා ගුණසේකර මාලිනී ෆොන්සේකා එක්ව “අහිංසා” චිත්‍රපටය නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසුණාය. එසේම 1998 වසරේ නදීකා තම මව තලතා ගුණසේකර සමඟ “ඇයට ඔබට බායි” නිෂ්පාදනය කළාය. උපාධිධාරිණියක ලෙස රංගනයට පිවිසි නදීකා පසුකලෙක ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණියක ලෙස හා සාමාන්‍යාධිකාරිණියක ලෙස තම දායකත්වය සිනමා කර්මාන්තය නගා සිටුවීමටද තම දායකත්වය ලබා දුන්නාය. මම ඒ කාලයේදී හැකි උපරිමයෙන් සිනමා නඟා සිටුවන්නට දායකත්වය ලබා දුන්නා. එහි පූර්ණ ගෞරවය මා හිමි කර දෙන්නේ ජයන්ත ධර්මදාස මහතාට. ඔහු සිනමා කර්මාන්තයේ යෙදුණු ශිල්පීන්ගේ දුක සැප පවා විමසා බැලුවා. ඔහු දැඩි පරිශ්‍රමයක් යෙදුවා. නමුත් පසුකාලයේදී ඔහුට එහි වැඩ කරන්න ලැබුණේ නැහැ. යම් යම් අයගේ මැදිහත්වීම් නිසා. අපේ සිනමාව ගොඩනගන්න නම් ජාතික චිත්‍රපට සංස්ථාව අවශ්‍යයි. එය සුරුකී තිබිය යුතුයි. නමුත් චිත්‍රපට සංස්ථාවේ ඒකාධිකාරයෙන් යුතුව දේශීය සිනමාව පාලනය කරන්නත් බැහැ. ඊට වඩා නම්‍යශීලී පිළිවෙතක් ඊට යෙදිය යුතුයි. ඒ වගේම සිනමාව නගා සිටුවීම වගේම අපේ රටේ ආර්ථිකය නගාසිටුවීම අප සියල්ලම එක්ව කළ යුතුයි. මේ සියල්ලට පෙර කුසගිනි නිවා සිටිය යුතුයි.”

මේ වනවිට නදීකාගේ ආදරණීය මවත් පියාත් දෙදෙනාම ජීවතුන් අතර නැත. එකම මලණුවන්ද හදිසි අනතුරක් හේතුවෙන් ඇයට අහිමිවූයේ මෑතකදීය. ඈ ඔවුන්ව සිහි කරන්නේ ඉතා සංිවේදී වෙමිනි. හිමිවීම් සේම අහිමිවීම් ද අප ජීවිතයට උරුමය. ඇය ඒ වග ඉතා මැනවින් අවබෝධ කරගෙන ඇත. ඇය කුඩා කළ මෙහෙණියක වීමට කැමැත්තෙන් සිට ඇත. හැකි විටෙක මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් දාන පිළිගැන්වීමට පවා ඇය කටයුතු කළාය.

නදීකා එක් දියණියකගේ මවකි. තෙනුති සෙහන්සා ඇගේ ආදරණීය දියණියයි. ව්‍යාපාරික සුරේන් හපුආරච්චි ඇයගේ ආදරණීය සැමියායි. සිනමා නිර්මාණ හැටපහකට පමණ රංගන දායකත්වය දුන් නදීකා රඟපෑ චිත්‍රපට පනස් පහක් පමණ තිරගත වී ඇත. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ “යුගත්‍රා” ඉදිරියේදී තිරගත වීමට නියමිතය. එහි ඇය ඉවෝන් නමින් වූ වයස අවුරුදු 75ක පමණ කාන්තාවකගේ චරිතයක් නිරෑපණය කරන්නීය. දශක ගණනක සිය සිනමා ගමන තුළ ඇය විවිධ පරාසයන්ගේ චරිත රඟපෑවාය. අධ්‍යාපනය සමඟ රංගනය යන අංශ දෙකම ජයගන්නට අපමණ වෙහෙසක් දැරුවාය.

“බැද්දේගම රෑගත කළේ හම්බන්තොට ප්‍රදේශයටත් එහා ඉතා දුෂ්කර ගමක. ශුෂ්ක කටුපඳුරු ගහණ කැළෑවක්. එහි රූගත කිරීම් නිමා කරලා නවාතැනට ආවාම ඉතාම වෙහෙසයි. එහි අපේ හිස සැකසුම් ශිල්පියා සෑම් පෙරේරා. ඔහු තමයි දෙපතුල්වල ඇනී තිබුණ කටු ගලවන්න අපිට උදව් කළේ. ඒත් මහන්සියි කියලා මට නිදාගන්න බෑ. මොකද ඒ දිනවල මම විශ්වවිද්‍යාලයේ විභාගයටත් පෙනී ඉන්න ඕනෑ. මම රාත්‍රියේ පාඩම් කරනවා. දවසක් එහෙම පාඩම් කරද්දී ආන්ටි සුමිත්‍රා (සුමිත්‍රා පීරිස්) කාමරයට ආවා. පහුවදා ඉතා දීප්තිමත් විදුලි බල්බයක් කාමරයට ලබාදී තිබුණා. ඔන්න ඔයාට දැන් හොඳට එළිය තියෙනවා පාඩම් කරන්න. කියා ඇය කිව්වා. මේ සියලු කැපකිරීම් අතරේ අතිශය කාර්යබහුල රංගන ශිල්පිනියක් ලෙසත් මා ආ ගමන්මඟ සිහිකිරීම අද මට සතුටක්.”

ආදරණීය රංගවේදිනිය නදීකා හදසර අප ඔබට සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරන්නෙමු.

මොනිකා  සේරසිංහ


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.