හැමෝම කියනවා මම සොනක්ෂි සිංහා වගේ කියලා…


1
1 point

පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණු අතරින් මේ දිනවල වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබාගෙන සිටින  චරිතයක් මෙවර සඳැල්ලට එකතු කර ගන්න හිතුවාසඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එකතු වුණු ඇය නමින් දේශානි නෙහාරා.

දේශානි කොහොමද ජීවිතේ?

ජිවිතේ හොඳින් ගෙවීගෙන යනවා ඉතින්. ලොකු විශේෂයක් නැහැ.

බොනිකර තරුවක් වගේද ජීවිතේ?

එහෙමත් නැහැ. ඒත් අද සමාජය ගත්තම නම් එහෙම හිතෙන වෙලාවල් තියෙනවා.

දේශානි ළඟ බොනිකර තරු නැහැ නේද?

අනේ නැහැ. මගේ බොනිකර තරු නැහැ. ඇත්ත තමයි තියෙන්නේ.

ඉතින් මේ ‘බොනිකර තරු’ ගැන දේශානිම කතා කරමු?

‘බොනිකර තරු’ කියන්නේ මගේ අලුත්ම ටෙලිනාට්‍ය දායකත්වය. මේ දිනවල රාත්‍රී 7ට ස්වර්ණවාහිනියෙ තමයි විකාශය වෙන්නෙ. ඉතින් මේ වෙනස්ම ටෙලි  නිර්මාණයක්. මේ දිනවල ඇත්තටම රටේ සිද්ධ වෙන දේවල් තමයි මේ නාට්‍ය තුළ සිදු වෙන්නෙ. ඉතින් මේ නිර්මාණය එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.

මේ නිර්මාණය වෙනුවෙන් දායක වෙන්නෙ කොහොමද?

මේ නිර්මාණයට මට මුලින්ම කතාකළේ මෙහි අධ්‍යක්ෂවරයා රවීන්ද්‍ර විජේරත්න මහත්මයා. ඔහු මේ කතාව ගැනත් මගේ චරිතය ගැනත් සඳහන් කරලා මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න කැමතිද කියලා ඇහුවා. මම කොහොමත් ගොඩක් කැමැත්තෙන් හිටියෙ දඟකාර දඩබ්බර චරිතයක් කරන්න. ඉතින් මේ නිර්මාණයේ මගේ චරිතය ‘අංජලී’ කියන්නේ එවැනි චරිතයක්. මේ වගේ චරිතයක් කරන්න මම කැමැත්තෙන් හිටපු නිසාම දෙපාරක් නොහිතා නිර්මාණයට සම්බන්ධ වෙන්න කැමති වුණා. ඉතින් මේ වෙද්දි මම ගොඩාක් ආසාවෙන් මේ නාට්‍ය චරිතය කරගෙන යනවා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අංජලී දඩබ්බර, දඟකාර චරිතයක් වුණාට ගොඩක් තාඩන, පීඩනවලටත් ලක්වුණු ගැහැණු ළමයෙක්. ඉතින් මේ කතාවටත්, චරිතයටත් ආදරේ කරන පිරිසක් මේ වෙද්දී එකතුවෙලා ඉන්නවා. හොඳ  ප්‍රතිචාර ගොඩක් දෙනෙක්ගෙන් ලැබෙනවා. මුලින්ම ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මොකක්ද මේ කතාව මොකක්ද මේ ‘බොනිකර තරු’ කියන්නේ ඒ වගේ දේවල්. මමත් ඇත්තටම මුලදි හිතුවෙ බොනිකර කියලා මොකක් හරි අර්ථාන්විත වචනයක් ඇති කියලා. පස්සේ තමයි දැන ගත්තේ ‘බොනිකර තරු’ කියන්නේ ඒ වචනය අනිත් පැත්තට පෙරළුවාම ‘තනිකර බොරු’ කියලා. ඇත්තටම මේ ටෙලිනාට්‍ය සංකල්පයට හරියටම සෙට් වෙන නම තමයි මේ. අද සමාජය  බොරුවක් වෙලා. මේ ටෙලි නිර්මාණය ඇතුළෙ ඒ හැමදේම තියෙනවා.

මේ ටෙලි නිර්මාණ රංගනයට අමතරව ‘පාර දිගේ’ යන ගමන කොහොමද?

‘පාර දිගේ’ ගමන ඉතා සාර්ථකයි. මොකද මේ හරහා තමයි මට හැමදේම ලැබුණෙ. ‘පාර දිගේ’ කියන්නෙ මගේ පළමු නිර්මාණ දායකත්වය. එහි ආන්‍යාට  ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. කොහේ ගියත් මාව දැන හඳුනාගෙන කතාබහ කරන පිරිසක් ඉන්නවා. මේ ආදරය   ප්‍රතිචාර ලබන්න මට ලොකු ශක්තියක් සහ සහයෝගයක් ලැබුණෙ පාර දිගේ කණ්ඩායමේ පිරිස නිසා. එහි අධ්‍යක්ෂවරයා සහ ප්‍රවීණ නවක නළු නිළි පිරිස විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. මගේ පළමු  රංගන දායකත්වය හරි විදියට කර ගන්න නොහැකි වුණා නම් අද මේ විදියෙ  සාර්ථක ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැනෙ. ඒ සාර්ථකත්වයට යන්න මට උදව් කරපු හැමෝවම ආදරෙන් සිහිපත් කරනවා.

කලා ක්ෂේත්‍රයට අවතීර්ණවීම සිදුවීම දේශානිගෙ සැබෑවුණ හීනයක්ද?

ඔව්. මම පොඩි කාලෙ ඉඳන්ම රංගනයට ගොඩක්  කැමතියි. මීට  පෙර අවස්ථා කීපයක්ම ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබුණත් මඟ ඇරුණා. මොකද මගේ ගෙදරින් කැමති වුණේ නැහැ. තාත්තා ගොඩක් විරුද්ධයි. ඒ වගේම අධ්‍යාපන කටයුතු නිසාත් මඟ ඇරුණා ඒ හැම අවස්ථාවක්ම. නමුත් ආහම්බයෙන් වගේ ‘පාර දිගේ’ නාට්‍යයට එන්න අවස්ථාව ලැබුණා. ජානි අප්සාරි නංගි නිසා චාමර අයියා තමයි මාව ‘පාර දිගේ’ නාට්‍යයට මුලින්ම සම්බන්ධ කර ගත්තෙ.

තාත්තාගෙ දැඩි විරුද්ධත්වයට මොකද වුණේ?

‘පාර දිගේ’ නිර්මාණයට මාව තෝරගෙන තියෙද්දිත් තාත්තා කැමති වුණේම නැහැ. බොහොම අමාරුවෙන් ගොඩක් දෙනෙක්ට කියලා කතා කරවලා තමයි මේ අවස්ථාව ලබා ගත්තෙ. ඒ කැමැත්ත ගන්න ඒ තරමට අසීරු වුණා. දැන් මාව රූපවාහිනියේ දකිද්දි තාත්තා තමයි යාළුවන්ට  එහෙම කියන්නෙ මම ඉන්න නිර්මාණ ගැන. මේ වෙද්දි තාත්තාගේ කැමැත්ත  ආශිර්වාදය මට ලැබිලා තියෙනවා. ඒක ඇත්තටම මට ගොඩක් ලොකු සතුටක්. මොකද ගෙදර අයගෙ අකමැත්තෙන් මගේ සතුට ගැන විතරක් මට හිතන්න බැහැනෙ. ඉතින් මේ වෙද්දි මගේ ගෙදර අම්මා, තාත්තා, අක්කා තුන් දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා කලාව වෙනුවෙන්.

අද රංගන ශිල්පිනියක් විදියට කොයිවගේ ආදරයක්ද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ?

ඒක නම් ඇත්තටම ලොකු සතුටක්. ඉතා  ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා කවදාහරි රංගන ශිල්පිනියක් වෙලා තවත් කෙනෙක් මාව දැන හඳුනගෙන කතාබහ කරලා ප්‍රතිචාර දක්වනවට. ඉතින් මේ තරම් ඉක්මනට ලොකු ආදරයක් ලැබෙයි කියලා නම් හිතුවෙ නැහැ. අද ප්‍රේක්ෂකයො ළඟට ඇවිල්ලා කොහේ ගියත් කතා කරලා සුභ පතලා යද්දි ඒ සතුට ගැන කියන්න වචන නැහැ. පළවෙනි  නිර්මාණයෙන්ම මට ඒ ආදරය ලබා ගන්න හැකිවුණා. ප්‍රේක්ෂකයන්ගේ ඒ ප්‍රතිචාර සුභපැතුම් මට ආශිර්වාදයක් ඇත්තටම. ඉදිරියේදිත් මගේම ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ප්‍රේක්ෂකයා අතරට හොඳ නිර්මාණවලින් විවිධාකාර චරිත රංගනයන්ගෙන් හොඳ දෙයක් කරන්න. වෙනස් විදියෙ චරිත රංගනයන්වලට යන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.

වෙනස් විදියෙ චරිත රංගනයන් කිව්වෙ වැඩිපුරම කැමති චරිතයක් තියෙනවද කරන්න? 

ඔව්. මම ගොඩක් නපුරු චරිතයක් කරන්න ආසාවෙන්  ඉන්නවා. ඒක මම නිතරම කියන දෙයක්. එවැනි චරිතයක් ලැබුණොත් ඉතා කැමැත්තෙන් භාර ගන්නවා.

නපුරු චරිත කළොත් ප්‍රේක්ෂක ආදරය අඩුවෙයි කියලා හිතෙන් නැද්ද?

ඇත්තටම එහෙම දෙයක් නම් තියෙනවා. ප්‍රේක්ෂකයො චරිත වලටත් ගොඩක් බැඳෙන අවස්ථා තියෙනවා. නමුත් මම අභියෝග භාර ගන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසා කලු හෝ සුදු ඕනෑම චරිත රංගනයක් භාර ගන්න සූදානමක ඉන්නවා. රංගන ශිල්පිනියක් වුණාම  ඕනෑම චරිත රංගනයක් කරන්න හැකියාව තියෙන්නත් ඕනෑනෙ.

දේශානිගේ කලා හැකියාවන්වලට පාසලේත් වේදිකාව විවෘත වෙලා තිබුණද?

මම පාසල් යන කාලෙ ඉඳන්ම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා  හිටියා. තරගවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම නර්ථනය එක්ක සම්බන්ධ වෙලා හිටියෙ. නර්ථනයට ලොකු දක්ෂතාවයක් තිබුණා. ගීත ගායනා කරන්න යම් ප්‍රමාණයකට පුළුවන්. ඊට අමතරව ක්‍රීඩා එහෙමත් කළා. කරාටි, ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවන්.

දේශානිගෙ පෙනුම එක්ක කව්රුත් කියලා නැද්ද බොලිවුඩ් තරුවක් වගේ කියලා?

ගොඩක් දෙනෙක්  කියනවා සොනක්ෂි සින්හා වගේ කියලා. එහෙම කියද්දි ඇත්තටම මට බොලිවුඩ් යන්න තිබුණා නම් කියලත් හිතෙනවා. හරි සතුටුයි ඒ වගේ ප්‍රතිචාර දක්වද්දි.

ඇත්තටම බොලිවුඩ්වලට යන්න අවස්ථාව ලැබුණොත් රඟපාන්න කැමතිම නළුවා කවුද?

මම ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ සුෂාන්ත් සිංට. ඔහු මැරුණනෙ. ඒ ගැන ඇත්තටම ලොකු දුකක් තියෙනවා. ඔහුගෙන් පසුව මම කැමති ටයිගර් ෂෙරොෆ්ට. ඔහු එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ගොඩක් කැමැත්තෙන් භාර ගන්නවා.

අපේ රිදී තිරයට තවම ආරාධනා ලැබිලා නැද්ද?

තවම නම් නැහැ. ලොකු කැමැත්තක්, බලාපොරොත්තුවක් තියෙනවා. පුංචි තිරයෙන් රිදී තිරයට යන්න. ඒ වගේම හොඳ නිර්මාණවලින් ඉදිරියට එන්න ආසයි.

ධනු විජේරත්න

ඡායාරූප –  සජීව ලක්ෂාන්

හැඩගැන්වීම් – ලෙස්ලි කාවින්ද


Like it? Share with your friends!

1
1 point

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Editor 3

0 Comments

Your email address will not be published.